පොරොන්දුවක් ඉස්ට කොරන්ට කියලයි ගොඩ උනේ.........
කාලය ඊයක වේගෙං ගෙවිලාය. ඒ ගෙවිච්ච කාලය ගැන මතක සටහං එමටය. එකිං එක මතකෙට එන ගානට ලියන්ට ජීවිත කාලෙත් මදිවේද කියලයි හැම නිතරම හිතෙන්නේ. හත්පත්තුවේ එකාලගෙ අතීතෙ, දැං කෝම වෙතත් ඉතාම කටුක එකක් ය. කන්ට හරියට නැතත් දවස ගෙවිච්ච ආකාරෙ හැබෑම සුන්දරය. ඒ සුන්දරත්වය අස්සේ කලවං වෙච්ච කදුලු,හසරැලි,කවට විගඩං එමටය. මේ කියාගෙන ආවෙ එහෙව් ගලාන ගිය ජීවිතේ මටයි මයෙ මස්සිනා වෙච්ච උටියටයි වෙච්ච ඉල ඇදෙන හිනා යන ඇබැද්දියකි.
බැට්ටියගෙ බාල පුතා උටිය. ඒකට උටිය කියැවුවේ මේක මහ කුරු එකෙක් හංදාය. උටියා එක්කලා නොකරාපු අලුකුත්තේරැ වැඩක් නැතිගානයි. පුංචිම සංදියේ පටං උටියයි මායි දෙන්නා වෙල්එලියට පැන්නහම රෑට රෑ වෙනතුරැත් නැත්තං ගෙදරිං කවුරුවත් හොයාන එනතුරැත් ගෙවල් වලට නොවැදුනාය. වැදුනානං වැදුනේ හොද කූරටිය කෝටුවකිං පුක පැත්තේ රට්ටං වල කොටු රෑල් ඇඳගෙනය. එහෙම කැලෑපයින අපි දෙන්නා නොදන්නා කෝං ගහක්, දඹ ගහක්, එරමිණියා ගාලක්, ඉඳි බූටෑවක් නැති ගානය. ගඩා ගෙඩි කාල කාට හරි අලකලංචියක් ඇදල අපි දෙන්නා සතුටු උනේ නොතේරැංකොමටය. ඒ මෝඩකං බලුකං අලුකුත්තේරැකං එකිං එක ඇදබාන්ට ගියොත් පනයන තුරැ ඇදබාන්ට පුලුහං. ඒ අතර අපි දෙන්නට කෙලවිච්චි තැනක් මේ.
උටියා මට වඩා හතර අවුරුද්දකට බාලය. අපේ මලයාගෙ වයසේය. උටියලෑ ගෙවල් තිවුනෙ වෙල් එලියට ඉහත්තාවෙංය. උටියා ඉස්කෝලේ යන්ට ආවේ වෑ කන්ද දිගේය. අපේ ගෙවල් තිවුනෙ වෑ කන්ද පාමුලය. උටියා වෑ කන්ද දිගේ අපේ ගෙවල් ගාවට ඇවිදිං මට බෙරිහං දෙන්නේ මාත් එක්කලාම ඉස්කෝලේ යන්ටය. ඒ යන ගමං දවසේ පැලෑන සැට් වෙයි. මාලු අල්ලන්ට යෑම,නෙලුං බටු කැඩිල්ල,කන්දේ නැගිල්ල,දඩයමේ යෑම වාගේ වයස අටේ දහයේ කොලු ගැටව් දෙන්නෙකුට ඇබින්දක්වත් නොපෑහෙන අවදානං වැඩය. ඩිංග වැරදුනොත් නමත් යන හමත් යන පනත් යන කුප්ප වැඩය. උටියා උදෑනැක්කෙම උන්නේ අප්පා එක්කලා හරක් බදින්ට යනවායිං දවස ගානේ උනු කැවුම් වායේ නිවුස් ඇන්න එයි. ඒ නිවුස් එකට අනුවයි මයේ අතින් පැලෑන සැට් වෙන්නේ. වෙනදා වගේම උටියා වෑකන්දට ඇවදින් බෙරිහන් දෙයි..
"තුසාර අයියා...... වරෝ....."
(අත්තම්මා ආදරේට මට කියැව්ව නම)
දනි පනිගාල බත් කටවල් දෙක තුනක් බස්සා ගත්ත මං වෑ කන්දට ගොඩ උනේ අලුත් නිවුස් අහන්ටයි.
"තුසාර අයිය මරැ වැඩේ බං"
ඇස් දෙක උඩදාල කට ඌරැ පුක වායෙ උල් කරගෙන උටියා කියන දේවල් අහන්ට මමත් එක පයිං.
"ඒ මොකද්ද බං"
"ජයසිංහ බාප්පා අලුත් පට්ටි ගොනෙක් ගෙනත්, බලන්ට ලස්සනයි කිරිසුදු පාට, ඒ මදිවට ඒකයෙ පිටේ යන්ට පුලුහං".
"නෑ..... මරැ වැඩේ බං...."
ජයසිංහ කියැවුවේ බැට්ටියාගේ බාල මලයාය. උන්දෑ මහ නාහෙට නාහන මිනිහා. උන්දෑගෙං බේරී ගොනාගෙ පිටේ යන්ට හිතන්ටත් අමාරු කාරනයකි. පුංචි එකා සංදියෙ "අකාල සන්ද්‍යා" නාට්ටිය රෑප පෙට්ටියෙං බැලුවා මතකය. ඒකේ වාගේ අස්පය පිටේ යන්ට මට තිවුනේ ඉමහත් ආසාවක් ය. ගොනාගෙ පිටේ යංට පුලුහං කීවාට පස්සෙං මට ඒකගෙ පිටේ යංට ඉස්පාසුවක් නැති උනාය. ඉස්කෝලේ ගෙහුං ඉගෙන ගැනිල්ලක් උනේ නැතුවාය. ඇඟිලි ගැන්නේ හීන මැව්වේ ගොනා පිටේ රාජ ලීලාවෙං යාමය. ඉස්කෝල ඇරිලා බැල් එක වදිනකොටම මං පොත් මල්ලත් ඇන්න පාරට පැන්නේ උටියා එන මග බලානය. උටියා ඈතින් ගමේ යන්නැහැ එනව දැක්ක මං,..
"අඩිය තියල යමකො යකෝ කැඳය වගේ ගාටන්නෙ නැතුව."
"තුසාර අයිය බඩකිණි බං".
"ඔහොම ගාටලද යකෝ බත් ගිලින්ට යන්නේ, ඉක්මනට වර".
එහෙම කියල උටියව කරේ නොතියාගත්ත විතරයි. වයිං කොරාපු බෝනික්කා වායේ මං උටියවත් ඇදගෙන අපේ ගෙදරට ගොඩ උනාය.
"අම්මේ......... බත් බෙදන්ඩෝ........"
අම්මාට බත් බෙදන්ට කියැව්ව මං ඉස්කෝල ඇදුං ගලවල ඇදුං වැටට වීසි කොරල කොටකලිසං කොටයකුත් ඉස්කෝල ඇදපු බැනියං කෑල්ලත් ඇදගෙන උටියත් එක්ක බත්කන්ට උනාය. අපේ ගෙදරිං බත්කන්ට උටියා පුදුම පෙරේතයා. ඇටෙං ඇටේට රස කොර කොර තලු මර මර කයි. මගෙ බත් පත විනාඩියට දෙකට අන්ත්‍රස්දාන උනේ අම්මාටද සැක ඇතිවෙන විදියටය.
"කොහෙද දෙන්න අද යන්ට ලෑස්තිය".
අම්මා තර්ජනාත්මක ලීලාවෙං දාපු සත්තමට උටියා බය උනා. ඌ මගේ මූණත් අම්මාගේ මූණත් බලාන ඇතිකොරාපු සතා වාගෙ හිනා වෙනකොට අම්මාට තවත් සැක හිතෙයි. උටියාගෙ කට ඉස්සර වෙන්ට කලියෙං මං ඉස්සර විය.
"නෑ මේ ගයන් අයිය කතාපොතක් දෙනව කිව්ව ඒක ගේන්ට යනව"
"ඉතිං ඕකට ඔච්චර හදිස්සිය, හෙමීට කාල ගියානං ඉවරනෙ."
"ගයන් අයිය පංති යන්ට කලිං යන්ට එපැයි".
"කොහෙ ගියත් කමක් නෑ අප්පොච්ච ගෙදර එන්ට කලිං එන්ට ඕනෑ.."
මාත් එක්කලා කතා කොරල දිනන්ට බැරි බව දන්නා අම්මා ගස්සාගෙන අපේ පිඟං දෙකත් ඇන්න කුස්සි කාමරේට පල්ලං බැස්සාය. උටියාත් මමත් දෙන්නා වෙල පාරෙං උටියලෑ ගෙවල් පේන මානෙට ගෙහුං උටියාව තනියෙං යැව්වේ නැන්දම්මා මාව දැක්කොත් පාන්සි වෙන හංදාය. මං උටියාගෙ වයසට ගැලපෙන එකෙක් නෙවෙයි,කොරන තරමක් අලුකුත්තේරැ වැඩ උගන්නන්නේ උඹ තමයි කියාන උන්දෑ උටියට තහන්චි දමයි.
"උඹ ගෙහුං පොත් මල්ල තියලා වෙන ඇදුමක් ඇදගෙන බෝතල් ඳඹ ගහ ගාවට වරෙන්."
උටියාට මගලකුණු කියැව්ව මං බෝතල් ඳඹ ගහේ කරටියටම නැග ජයසිංහ උන්දෑගේ වත්ත දිහෑවේ බලාන උන්නේ ගොනාව වෙල් එලියට දක්කාගන්ට කෙරේමයක් ය. අඩහෝරාවක් විතර ගතවෙන තැන ජයසිංහ උන්දෑ වස්සා දක්කාන ගෙනහුං ගෙයි පිටිපස්සෑ ලියැද්දේ බැංදාය. ඒ බැඳපු උන්දෑ කරකත් ඇන්න වෑකන්ද පැත්තට ගෑටුවේ මාලු අල්ලන්ටය. මටම කියාපු වෙලාව. ඒ වෙනකොට උටියා පේර ගෙඩියක් උලා කකා ගහ යටට ඇවදිං උන්නාය. හරක් දැක්කිල්ලට උපං හපනා වෙච්ච උටියාව පිටත් කරල යැව්වේ අහු උනත් වැඩේ උටියා මොකක් හරි පචයක් ඇතෑරලා බේරිලා එන හංදාය. මාව දැක්කොත් ගමේ ඕනෑම එකෙකුට සැක ඇතිවෙන්නේ මගේ තිබුන අලුකුත්තේරැ වැඩ හංදාමය.
"ඒ..... යමං, ගෙහුං හෙමිංසැරේම ගොනාව දක්කාගෙන වර......."
"හ්ම්ම්........ අහු උනොත්......."
"අහු උනොත් කියපං, මෙතන අව්ව හංදා කරඳ ගහ යටිං බඳින්ට හැදුවෙ කියාල. ඒ කොරල කරඳ ගහ යටිං බැඳල දන්නෙ නෑ වගේ වර....."
මං කියන හැම දෙයක්ම උටියා අකුරටම කොරන්නේ මගේ පැලෑන් වල තියෙන රස හංදාමය. කන්න දෙකක් වැඩ නොකරාපු හංදා මහවෙල් යායේ ගනසැරේට කැලෑව වැහිලා. තෝර,ලෑටිය,පිල වායේ එකී මෙකී නොකී වන බූටෑව වෙල් යාය වහගෙන උන්නේ සැරින් සැරේට බිම තෙමාපු පොද වැස්සෙං පන ගහලාය. මගේ පැලෑන උනේ ගොනා මහ වෙල් යායට දක්කාගන්ටය. කිව්වා වාගෙම උටියා කිරිසුදු පාට ගොනාව බෙදුං ඇලෙං පන්නාගෙන මහ වෙල් යායට දක්කාගෙන ආවේ මගේ ඉහේ මලක් පිපුන ගානටය.
"හ හා...... කොහොමද ගොනා.."
උටියා එහෙම කියනකොට මට ඉස්පාසුවක් නැති විය. වෙල් යාය මැද කමත් මණ්ඩියට ගොනාව දැක්කුවේ එතන යහමිං ඉඩපාසු ඇති හංදාය. මස්ගොබ ඉලිප්පිච්ච ගොං තඩියෙක් උනාට මේකා මහ කම්මැලි ගොනෙක් ය. ඒකාට අඩිය උස්සලා අඩිය තියන්ට වඳින්ට ඕනෑ. කෝමහරි උටියා කාරියට මුල පුරන්ටත් එක්කලා ගොනාගෙ පිටේ ගොඩ විය. ඒ කියලා ගොනාට වගේ වගක් නැතුවාය. ඒ තරමට හීලෑ ගොං තඩියෙක් ය. උටියා ගොඩ කොරලා මං කඹේ ඇදගෙන දැක්කුවොත් ගොනා අඩිය තියයි. නැත්තං මේක නෙවෙයි අඩිය තියැව්වේ. ඒකෙං මේකෙං හීන හැබෑවෙන මොහොත උදාඋනාය. උටියා කියා දීපු ආකාරෙට ගොනා පිටේ ගොඩ උන මං ඈත වෙල් යායේ ලඳු පතනට රාස්සිගේ අව්ව වැටිච්ච දිහාව බලාන හුස්මක් ඇරියේ රාජ ලීලාවෙනි. ඒ හැඟීම ගැන අදද මට ඇත්තේ අවිනිශ්චිත හැඟීමකි. මට එදා හිතුනේම රජවී අස්පයාගේ පිටේ යනවා කියාය. ගණ සැරේට වැවිච්ච පතනේ ගොනා දක්කන්ට ඉස්පාසුවක් නැති විය. කෝක කොරන්ටත් මේ ගොනා නෙවෙයි අඩිය තිබ්බේ.
"අඩේ තුසාර අයියා...... ගොනා දුවවන්ට නං පුංචි කෙරේමයක් තියෙනව......"
"කොරන ඉටිගෙඩියක් කොරල මේකව දුවවං යකෝ.........."
එහෙව් කියල කට ගන්ට උනේ නෑ ගොනා දුවන්ට තියා ගත්තාය. ඒ දිවිල්ල සරීර සෞඛ්‍යට ඒ තරං හොද එකක් නොඋනාය. ගොනා ලන්ද පලාගෙන දුවයි. උටියා කර ලණුව අල්ලාගෙන පස්සෙං දුවයි මගෙ ඇඟේ ලේ වතුර වෙලා ගොනාගෙ බෙල්ල බදාන බෙරිහන් දෙයි. රාජ ලීලාව බලු ලීලාවට හැරැනාය. කොන්ටරෝල් කොරගන්ට බැරිවෙච්ච උටියා ලණුව පැටලී ලන්ද දිගේ ඇදීගෙන එයි. පස්සෑ ගාත් උඩ දම දමා දුවාපු ගොං තඩියා නියරක් පිටට පය තියලා ගස්සාගෙන දුවපි.....මාව උඩ විසික්කා වී බිම පත බෑවුනාය. යාර පහකට එහායින් උටියා පතබෑඋනේ පැටලිලා තිවුන ලණුව ලෙහිලාය. දෙන්නා දනිපනි ගාලා ලියැද්දෙං ගොඩ වෙලා කමත් මණ්ඩියට ගොඩ උනාට මොකද්දෝ අමුතු කිති කැවිල්ලක් මයෙ කකුල් දෙකේ ඉදං ලෝක පාලණ දාතුව දක්වාම ඇති උනාය. උටියාද බිම්මල් කාලා අජීරණේ හැදුන්නැහේ ඇඹරෙයි.
"මොකද යකෝ උබ කොලේ......."
"මේක කම්මැලිය හංදා මං ඒකගෙ නැට්ට ඇඹරුව......."
"ඒක නෙවෙයි උඹේ කහන්නේ නැද්ද..."
"ඒකනෙ බං මේ මාත් බැලුවෙ, පිට දිගේ ඇවිලෙන්නැහැ කහනව....."
"ඉඳපං ඩිංගක් බලන්ට........."
කියාපු මං දෙන්නා පතබෑවිච්ච තැනට ඩිංගක් කිට්ටු කොලාය. වලාමයි, ගන සැරේට වැවිච්ච කහඹිලෛයා ලංදක් උඩ නේද පතබෑවිල තියෙන්නේ. කතාවෙං කතාවෙං කැහිල්ල උඩු දිව්වාය. උටියගෙ ඇස් දෙකෙං කඳුලු වැක්කෙරෙන හැටි බලාන මං කොට කලිසම උස්සාගෙන කහන්ට උනාය. උටියා පිට කහගන්ට බැරැව හූ තියයි. දෙන්නා පලු නගිනකල් මාරැවට කහගත්තත් මේ වැඩේ හරියන එකක් නෙවෙයි කියල මට ඒත්තු උනාය. අඩියට දෙකට ගෙදර දිව්ව මං පොල්තෙල් බෝතලේම උටියගෙත් මගෙත් ඇගේ හලාගෙන දෙමාරැවට අතුල්ලන්ට විය. අම්මාගෙං පදමට සෝලි අහගත්තු මං උටියාව කිරිඅප්පොච්චගෙ චැලියේ ගෙහුං ඇරලුවාය. දෙන්නාගේ තිබිච්ච පෙර පිනකට ගොනා රෑ වෙන්ට කලියෙං ජයසිංහ උන්දෑගේ ගෙදරට ගෙහුං උන්නාය. ලෝක පාලන දාතුවේ වං බීජෙ පලු දමා සාමාන්‍ය තත්වය වායේ දෙගුන වී තිවුනාය. පොල්තෙල් සාත්තුවට කැහිල්ල නතර උනත් රෑ තිස්සේ මට සහලෝල උන ගැනුනාය. අම්මාට මේ බවක් කටක් ඇරල කියන්ට පුලුහං කොමක් නැති හංදාම ඇඳ රෙද්දට වකුටු වී බුදි උනාය. එදායිං පස්සේ මං නෙවෙයි කහඹිලියා තියෙන අහලකිංවත් ගෑටුවෙ......
හත්පත්තුවේ විත්ති
Saturday, 24 August 2019
බැට්ටියා.....(හත්පත්තුවේ විත්ති.......04)
එක සමාන නං ගං තියෙන එකාල එකම ගමකිං මුලිච්චි වෙන එක ඒහැටි දෙයක් නෙවෙයි. වන්නි කොරෙත් එහෙමයි. ඒත් ඉතිං ගමේ එකාල එක එකාව අඳුරගන්ටත් එක්ක නමට මුලිං අන්වර්ථ නාමයක් පටබැන්ද. වන්නියෙ පුරසිද්දම නං කීපයක් තමා බංඩාරෙයි, තිලකෙයි, වන්නියි. රසව්ංදනේටත් එක්කල කෙටියෙං එක එකා ගැන කියල ඉන්නං
"කඩම්බෑව" කියන ගමේ ඉඳං අපේ ගමට බින්න බැහැපු මිනිහෙක් උන්නා. උන්දෑගේ ලොකු කොල්ලගේ නම තිලකරත්න. කවුරුත් මුන්දෑට කියැවුවේ "කඩම්බෑ තිලකෙ"
අපේ අප්පොච්චගේ වයසෙම තවත් තිලකරත්න කියල උන්දෙක්. අප්පොච්චල පුංචි සංදියෙ මෙවුන්දාට කොලොප්පමට අරියාදුවක් කොලාම. විහිලුවක් තහලුවක් කොලාම එලුව වගේ අඩන්ට තියා ගන්නවලු. ඒකෙං මුන්දෑට කිව්වෙ "එලු තිලකෙ"
කලියෙං කියාපු කතාවක මතක ඇති "ටයිං" උන්දෑ ගැන. උන්දෑගේ ලොකු කොල්ලා "ටයිං තිලකෙ"
ඉස්පිත්තාලෙ ඇම්බුලස් එක එලවාපු තිලකරත්න මාමාට කියැවුවේ "ඇම්බ්ලස් තිලකෙ"
ඔය වාගේ තවත් බොහොමයක් තිබුන, "සැන්ඩෝ තිලකෙ, බඩ තිලකෙ, කලු තිලකෙ"
"ටයිං" උන්දෑගේ බාල පුතා රත්ණබණ්ඩාර. නිච්චියට ආවනෙ නම, "ටයිං බණ්ඩාරෙ"
උපතිංම ඇහැක් කණ බණ්ඩාරනායක උන්දෑ "ඇහැකණ බංඩාරෙ"
ඩෝසරේ තිබිච්ච බංඩාරෙ මාම "ඩෝසර බංඩාරෙ"
සමුර්දියෙ වැඩකොරාපු වන්නිනායක "සමුර්දි වන්නිය"
කෙට්ටු සරීර කූඩුවක් තිබිච්ච ගම්මැද්දෙ වන්නිනායක "හීං වන්නිය"
ඇති ඇති, ලියන්ට උනාම කණ්වැංඳුං ගෑණු වගේ අපිත්. ඒකට හේතුව ආයිබොවන්ඩ මේ එකෙකුට එකෙක්ගෙ චරිත ලක්ෂණයට, උන්ට පටබැඳිච්ච නං වානමට රස වෑහෙන කතාවක් තියෙන හංදා. මේ කියන්ට තෙපර බාගෙන ආවේ අප්පොච්චගේ පුංචි සංදියෙ හූරෙක් වෙච්ච අද වෙනකොට අප්පොච්චගේ මස්සිනා වෙච්ච බංඩාරෙ මාමණ්ඩී ගැන.
පුරාණෙ උන්දලාට ආයිබොවන්ඩ වියට ගෙඩිය කපල අටුවට පුරවගත්තට පස්සෙ වෙන වැඩක් පොලක් තිබ්බෙ නෑ. හේනක්, කොරටුවක් කොරාන එදා වේල පිරිමහන්ට අඩු වැඩිය වත්තෙ පිටියෙම වවාන අල බතල ටික පවා, මේකල උන්නෙ විවේක සුවයෙං ඕං. අන්න ඒ කාරණාව හංදම දේශීය ජන සංක්‍යාතයට දැනෙන බලපෑමක් කොරන්ට පුලුහං උනා. අපේ කිරි අප්පොච්චත් දරුවන් හත් දෙනෙක් සමාජෙට එකතු කොරාපු අතර තවත් දෙන්නෙක් අරං හදාගෙන. මං මේ කියන්ට යන මාමණ්ඩියගේ පව්ලත් අයෙ එසේ මෙසේ එකක් නෙවෙයි ඕං. ගෑණු දරුවො දෙන්නයි පිරිමි දරුවො දොලොස් දෙනයි. ඒ වීර මිණිහගෙ නම "පුංචි ටිකිරා". ගංබාර දෙයි හාමුදුරුවන්නේ පිහිටෙං උන්දෑ තවම යහතිං ඉන්නව. මුන්දෑ කුඹුරු කොටනවාට වැඩියෙං කොටලා තියෙන්නේ ගෙදර කුඹුරදෝ කියල මට හිතෙන වාර අනන්තයි බොල. මේ වායෙ ගෙවල් වල මහ එවුන්ට අමතකයි මොකාටද කන්ට දුන්නේ මොකාටද නැත්තේ කියල. ඇයි යකෝ දාහතරක් කියන්නේ සෙල්ලමක්ද.
කෝමෙං කෝම හරි අපෙ අප්පොච්චට වැඩිමාල් එක අක්කයි. එයින් පස්සේ අපෙ අප්පොච්ච, පස්සෙං අප්පොච්චට බාල සහොදරියො පහයි. ඔය වංගිය වෙනකොට අපේ අප්පොච්චට වැඩිමාල් සේණ මාමත්, පව්ලෙ බාලය වෙච්ච බාප්පාත් පව්ලට එකතු වෙලා. චමින්ද බාප්පා කිරි වරන සංදියෙම එක්ක ආවත් සේණ මාමාව එක්ක ඇවිදිං ඇත්තේ දැනුං තේරැං ඇති වයසේය. සේණ මාමා අඩු කුලේ කොල්ලෙකි. උන්දෑගේ මහ උන්දෑ අකාලයේ මියැදුනාය, උන්දෑ කිරි අප්පොච්චගේ ගෝලයාය, උන්දෑගේ වියෝවෙං පස්සේ සේණ මාමාට වැඩ උගන්නන්ට එක්ක ආවාය කියා අප්පොච්ච මට දවසක් රෑ අස්වැද්දුමට වතුර පාර දාගෙන උන්නු වෙලේ කීවා මතකය. "කෝකෙං කෝක වෙතත් ඒ වෙනස්කං දැනගෙන හිටියට කමක් නෑ එවුන් දෙන්නම දැං අපේ, තේරැනාද? උඹ ලොකු එකා හංදා මෙව්ව දැනගෙන ඉන්ට ඕනෑ හංදා කිවුව, කවදාවත් උඹ මෙව්වා දන්නා බවක් වත්, වෙනස් කමක් වත් අඟවනවා එහෙම නෙවෙයි".
ඉතිං ආයිබොවන්ඩ අපෙ අප්පොච්ච, බංඩාරෙ මාම එක පලෝලෙ උදවිය. කාලෙ ඔය විදියට අපූරැවට ගෙව්ව්ගෙන ගෙහුං ඇටෙං පොත්තෙං පෑදිල එන වයසට ආව. ඇහැට කනට පේන ලමිස්සියො හය දෙනෙක් රකිනව කියන එක අත්තම්මට මහා විසාල වගකීමක් වෙනව කියන එක අහන්ටත් දෙයක් යැ. පිලිවෙලිං මුන්දලාගෙ නං (කිරිඅප්පොච්ච ආදරේට කියාපු) ගීතා, සේණා, ගාමිණී, ඉන්දු, මැණිකේ, ඉන්දරා, උක්කුං, චන්දරා, චමින්ද. මේ අය අතරිං මැණිකේ නැන්දම්මා ඇහැට කණට පේන රෑප සුන්දරියක්. මාලණී ෆොන්සේකාගේ කපාපු පලුව. බංඩාරෙ මාමත් එක්ක වැලි සෙල්ලං අවදියෙ ඇතිවෙච්ච සෙනෙහෙවංත කොම ආලවන්ත කොමකට කාලෙත් එක්ක පෙරලිලා. නාන තොටවල් වල කඩ පිලේ පෝයදාට පංසලේ මේ දෙන්න ඉඟි බිඟි පාන්ට පටං ඇරං. ඒත් අත්තම්මට හොරෙං වචන දෙකක් කතා කොරගන්ට හම්බෙලා නෑ. ඒකට හේතුව අත්තම්මා මහ යකඩ ගෑණී. තුලානෙ මල ගෙයක් උනාම ගමේ ගැටවු තනි රකින්ට යනව රෑට. ඒ ගියාම බූරැ කුට්ටම ඇන්න ඈදි ගත්තාම රෑ එලි වෙන්නෙ මේ වායෙ කත ඔලිං. ගමේ පිරිමින්ට නැන්දම්මලාට අඟර පාපු ගැටයින්ට බිම දාගෙන තඩිබාපු එව්වා ගැන ඒ ගුටිකෑ උන්ම මා අතිං කියපු වරා එමටයි.
ඔය සංදිය වෙනකොට අප්පොච්චයි සේණා මාමයි කිරිඅප්පොච්ච එක්කලා වැඩ හොයාන ගියපු අතර සතියට සැරයක් කිරිඅප්පොච්ච විතරක් ගෙට ගොඩවෙලා යන්ට එයි. අප්පොච්චයි සේණා මාමයි ආවේ මාසෙකට දෙකකට සැරේකුයි. රට වටේ තියෙන වේලි, ඇනිකට්, පන්සල්, පොලිසි, ඉස්පිත්තාල බොහෝමයක මතක අප්පොච්ච ලොකු මාමණ්ඩිය එක්ක සැට් උන වෙලාවට මතක් කොරන හැටි මං වං කණ උරැක් කොරගෙන අහගෙන ඉන්නව. අප්පොච්ච ගිනි වතුර කටේ ගාපු මිනිහෙක් නොවුනට ඉඳ හිට ලොකු මාමණ්ඩි, අප්පොච්චගේ ඉස්කෝලේ යලුවො සැට් උනාම ඩිංගක් සප්පයම් වෙයි. ඒක කොලෙත් ඉස්සරහ කාමරේ ඇතුලේ කාටවත් නොපෙනෙන්ටයි. ඔය වගේ දවසක ලොකු මාමණ්ඩි එක්කලා සැට් වෙච්ච වෙලාවක මං අහගෙන උන්න අප්පොච්ච කියනව
"උඹට මතකද සමරෙ අයියෙ තලාවෙ පොලිසියෙ පොයින්ට් බැම්ම බැන්ද"
"මොකද ආයෙ මට අමතක"
"ඔය බැම්මට අත්තිවාරම දාල මමයි අප්පච්චියි දවසක් ගෙදර ආව මතකද උඹට".
කියලා අප්පොච්ච තවත් විදුරක් හලාගෙන කතාව පටංගත්ත.
කතා බහ කොරන්ට, ලියුං දෙන්ට වෙලාවක් කලාවක් නොලැබිච්ච මේ දෙන්නා අගේ ඇති කෙරේමයක් හොයාගෙන. පොත් පාඩං කොරන්ට මැණිකේ නැන්දම්මා රෑ බෝවෙන තුරු ඉන්න අතර අත්තම්මා රෑපාහිණිය බලයි. රෑට රෑ වෙලා රෑපාහිණිය බලන්නට පුංචි එවුන්ට තහනං අතර අත්තම්මා තනියෙං රෑපාහිණිය බලයි. මේ අස්සේ බණ්ඩාරෙ මාමා බැට්ටිය ඇන්න මහ ගේ ඉස්සරැහිං තිබිච්ච කොට්ටම්බා ගහ යටට එයි. (බැට්ටිය කියැවුවේ ටෝච් එකට) නැන්දම්මා පාඩං කොරන ගෙයි ජැනේලියට දෙතුන් පාරක් බැට්ටි එලිය අල්ලල හීං සැරේම නවසි පොල් ගහ ලගට කිට්ටු කොරනව. ඩිංග වෙලාවකිං මැණිකේ නැන්දම්මා පිටිපස්සෑ දොරෙං එලියට එනවා. සුටුස් ගානකොට ලියුං කරදහි මාරු කොරගන්නව. ආපහු නැන්දම්මා ගේ ඇතුලට මාමණ්ඩිය ආපහු දෙවට පාරට. සැරිං සැරේ අත්තම්මාට නැන්දම්මා එලියෙ ඉඳලා ඇතුලට එනවා අහු උනත් නැන්දම්මා කියැවුවේ දොට්ට පිලට බැසගත් බවකි කියාල අත්තම්මා කීවා මතකයි. කොහොමිං කොහොම හරි අප්පොච්ච කිරිඅප්පොච්ච එක්කලා බැන්ලියෙ ගෙදර ඇවිදිං. බිං කලුවර වැටුනට පහුවෙං ගෙට ගොඩවෙච්චි හංදා අත්තම්මා කරෝල ඩිංගක් තෙලට දාල හාල් ඩිංගක් ලිපේ තියල හොද්දට පරිප්පු පෙගෙන්ට දාල එහෙම බඩ දිය බාන්ට පිලිකන්නට බැහැල. ගෙදරට පිරිම් පරාණ ගොඩවෙච්ච බවක් නොදන්නා බංඩාරෙ මාම ලිවුං කරදහියෙ තිබිච්ච විදියටම වෙලාවට ඇවිදිං. අනේ ඉතිං අද කාලෙ වගේ ආයිබොවන්ඩ ඒ වංගියෙ කතන ආයිත්තං නොතිබ්බ හංදා මේ බවක් කියගන්ට කෙරේමයක් නැතුව මැණිකේ නැන්දම්මා ගේ ඇතුලේ දෙලොව රත් වෙලාලු. පුරුදු විදියට ආයිබොවන්ඩ මෙවුන්දා එදත් බැට්ටිය අල්ලල ජැනේලියට. වලාමයි, අත්තම්මා මේක දැකල. ස්ද්ද නොකර බලාන ඉදල හීං සැරේම ගෙට ගොඩවෙලා අප්පොච්චගෙයි කිරිඅප්පොච්චගෙයි කනේ තියල මූණ බැඳගත්තු එකෙක් කොට්ටම්බා ගහගාව ඉඳලා බැට්ටියක් ඇල්ලුවා කියල. සුටුස් ගාල සරම කැහැපොට ගහගත්තු අප්පොච්ච පිලිකන්න පැත්තෙං එලියට ගෙහුං අනික් පැත්තෙං කොට්ටම්බා ගහ ගාවට ඇවිදිං. අංගං අඩි හොඳට දන්නා අප්පොච්ච මහසොහොන උනත් බෙල්ලන් අල්ලල පොලවෙ ගහනවා කියල හිතාන පැනපු ගමන් මේකගෙ පිට මැදට තඩිබාල. බුදු අම්මෝ කියාගෙන පතබෑවුණු බණ්ඩාරෙ මාමයෙ බෙල්ලට කකුලක් තියල දකුණු අත අඹරල අල්ලගෙන. මේ ඩිංග වෙනකල් කුස්සි යාලත්තට මුවා වෙලා උන්නු අත්තම්මා පැනපු ගමං මේකගෙ බැට්ටිය ඇන්න මේකට තඩිබාන්ට ඇන්න. මේ ගෝරනාඩුව ඇහුන අල්ලපු ගෙවල් ඔලගෙ එවුනුත් වට වෙලා. කෑලි පහේ බැට්ටිය කෑලි වලට ගැලවෙනකල් පතබෑවට පස්සේ තමයි මේකගෙ මුකවාඩම ගලවල තියෙන්නේ.
"ටිකිරගෙ බංඩාරෙ නෙවැයකෝ මේ. තෝ මොනව හොරකමේ ආවද බොල".
"හා හා ඕකට යන්ට ඇරපියව්".
හැම දේ ගැනම දැනුං තේරුං ඇති කිරිඅප්පොච්ච මේකට යන්ට ඇරල. කල බැගෑනිය අහවර කොරල අල්ලපු ගෙවල් ඔලගෙ උන්වත් ගෙවල් වලට පිටත් කොරල. කිරිඅප්පොච්ච ගෙට ගොඩවෙල. ඒ වෙනකොට ගෙදර පුංචි එවුං ඔක්කෝම අවදි වෙලා. කිරිඅප්පොච්ච අත්තම්මාට කියල බත් බෙදවගෙන කන ගමං,
"හා කියපල්ල බලන්ට දැන් තොපෙං කාව හම්බු වෙන්ටද අරක ආවෙ".
කිරිඅප්පොච්ච එහෙම අහනකොට තමයි අප්පොච්චටත් අත්තම්මාටත් අනික් කෙල්ලොන්ටත් මේ අපභ්‍රංසෙ තේරුං ගෙහුං තියෙන්නේ. කෝක වෙතත් කට්ටියම මීයට පිම්බා වගේ බිම බලාන ඉඳලා තියෙන්නේ කිරිඅප්පොච්ච යක්සය වගේ මිනිහා බව හැම එකාම දන්නා හංදාලු. ඒකෙං මේකෙං අත්තම්මා බංඩාරෙ මාමට බැට්ටියෙං තඩිබාපු කතාව ගමේ හැම තැනම පැතිරිලා තිබුනා. කල් යන්ට කල් යන්ට මෙවුන්දාට "බැට්ටි බංඩාරෙ" එහෙමත් නැත්තං "බැට්ටියා" කියලයි අද වෙනකලුත් වානමට කියැවුවේ. කෝක වෙතත් අවුරුද්දකට විතර පස්සේ මැණිකේ නැන්දම්මා බංඩාරෙ මාමත් එක්ක කාටත් හොරෙං වහං වෙල ගෙහුං තිබුණ. මුලදි කිරිඅප්පොච්ච විරුද්ධ උනත් පස්සෙං පහුවෙනකොට අත්තම්මගෙ ඇවිටිලට සමාව දුන්නාලු. අද වෙනකොට දරුවො තුන් දෙනෙක් හදාන ගෙවල් දොරවල් හදාන අගේට ජීවත් වෙනව ආයිබොවන්ඩ......
Sunday, 26 August 2018
සද්ද කොරන්ට එපා, ආං අතන
සිදාදියේ මහත්තැන්ලාට නෝනාලාට ගමේ විත්ති අල්ලල ගෙහුං වාගේ.
වෙලාවකට මං මේ කොරන්නේ වරදක්ද කියලත් හිතෙන්නේ නැතුවාම නෙවෙයි. ඒ මොකෑ බං මං මේ ඇදබාන සබ්බ සකල මනාවම ඇත්ත නිසාවෙනි. නං ගං සියල්ල ඇත්ත එව්වා. රසව්ංදනේට වාග් ස්වරයෙං ලුණු ඇබුල් දැම්මාට කතාව හෙණගහණ ඇත්තය. ගමේ එකාල දුප්පත් නූගත් මෝඩයෝය. ඒත් ඒ එවුන්ගේ අසරණ කමය. ඒ අසරණ කං මෝඩකම් රෙද්ද කැඩුවා වාගේ මෙහෙම ලියන එක අන්තිම වැරැද්දක් බව මට නිකමට වාගේ ඒත්තු වී ඇත. කවදා හෝ මගෙ ගමේ එකෙක් මෙව්වා කියවලා අදාල පුද්ගලයන් ගේ කණේ තියව්වොත් මට ආයේ උන්ගේ මූණ බලන්ට බැරි වෙනවා සත්තයි. වෙච්චි සිද්දිය ඒ විදියටම පතබෑවේ නැත්නම් ඒකෙ මෙලෝ රහක් නැති බව මගේ අදහසයි. කෝක වෙතත් අදිං පස්සේ ලියන කියන එව්වායේ නං ගං ඩින්ගක් එහාට මෙහාට කොරගෙන ලියන්ට වෙනවාය. කටුස්සා කියන අගේ ඇති මිනිහා මාව මේ මකබාවට සැට් කොලාට, මමත් ඔල්මාද කාරයා වාගෙ ලිව්වාට,ලියන කියන එව්වාටත්, මහ ලොකු සමාජ පරිකල්පන මෙව්වා එකකුත් නැති මට අගේ ඇති අදහසක් කියවන බලන ඔබතුමන්ලාගෙන් මේ ලියමනෙං පස්සේ බලාපොරොත්තු වෙම්.
මේ කියන්ට තෙපර බෑවේ හූණා ගැනය. මේකගෙ ඇත්ත නම සමන් කියමුකො. මේක මගේ වයසේමය. එකේ කැලෑසියෙ ඉදලා තුනේ කැලෑසිය වෙනකල් හිටියා මතකය. මේක හරි කෙට්ටු එකා. හරියට සොමාලියං කාරයෙක් වගේ. ඒ මදිවාට කොටය. ඇතමෙක් මේකාට බුට්ටා කියව්වත් විලිකුණ් ගස්ලබ්බ වගෙ මූණේ ජිල් බෝල වාගේ ඇස් තිබිච්ච හන්දාම හූණා කියා මේකාට රැජිස්ටාර් උනාය. හතරදෙනෙකුගෙ පව්ලෙ මේක කුලුදුල් දරුවා විය. මුගෙ මහ උන්දෑ කොලේ මාලු විකුණන එකය. ඒ හම්බුකොරගෙන එන එකෙං පවුලක් ජීවත් කොරන එකයි පොඩි එවුන් ඉස්කෝල යවන එකයි කොරන්ට මහ අමාරු වැඩක් විය. ඇරත් හූණා උපං ගෙයි මෝඩයාය. තුනේ කැලෑසියෙදි මං පංතියේ පළවෙනි තැන ගත්තායින් පස්සේ වෙනම පංතියකට දැම්මාය. ඒකේ උන්නේ ප්‍රස්න පත්තර උඩ බඩවැල් කපාපු එව්වෝය. මං පලවෙනි එන්ට හේතුව පංතියේ අනික් එවුන් ගොං ලබ්බෝ නිසා මිස වෙන කෙහෙල්මලකට නොවන බව නිච්චියට ආවේ අලුත් පංතියේ එවුන් එක්කලා පෑහෙන්ට දැගලූ විටදීය.
කෝමෙං කෝම හරි හූණා අකුරු කිරිල්ල මග නැවැත්තුවා මතකය. ඒ වෙනකොට මං ඉංගිරිස් සාහිත්‍යය පංතියේය. එව්වා මට නං ජෝන්ට ලතිං වගේය. හූණා ඉස්කෝලේ යාම නවත්තලා ටේලර් සාප්පුවේ වසංතයා ලගට හේත්තු විය. වසංතයා සූස්ති කාරයාය. මෙකා මැරිලා ගියේ ස්නායු පද්දතිය අකර්මණ්‍ය ද මොකද්ද වෙලා මොලේ නහර වැල් වේලිලා සෑහෙන දොහක් ඔත්පොළ ඉදලා අපා දුක් විදලාය. ඒකෙං මේකෙං වසංතයා හූණාටත් සූස්තිය පුරුදු කොරලාය. මැසිමේ වැඩ වසංතයා කොරපු අතර හූණා කොලේ කාසා කැපීම,බොත්තං ඇල්ලීම, ඉස්තිරික් කෙරිල්ල වගේ ගොඩ වැඩය. එව්වාගෙං හම්බුකොරන සොච්චමටත් මේක ගංජා බිව්වේය. ඔය අස්සේ කුඹුරු වැඩ කාලෙට මේකා නිදං විදානේ මාමයෙ මාට්ටරේ වැඩට ගියාය. (නිදං විදානේ මාමයෙ කතාව පස්සේ) වෙල් වැඩ කාලෙට හූණා යන්නේ පොලවට අගලක් පමණ උඩින්. අර මක්කැයි මේකට අත මිට ඒ කාලෙට හෙදට සරුය. ඒ වායෙම රැයක් දවාලක් නැතුව බාරගත්තු වැඩේ මේකා හරියටම කොරලා දුන්නාය. ගමේ එකාලත් හූණා අල්ලන්ට බැරිම වෙච්ව තැන වෙන එකෙකුට දුන්නා මිස කුඹුරු මඩවා ගත්තේ හාගත්තේ හූණාට කියලාමය. අනික මේකාට නැස්ටමෝල් කිරි එකක් හදලා උණුවතුර බෝතලේට දාලා දුන්නාම දවසම ගංජා බිබී ඒකෙං ටිකක් බිබී හෑවා මැඩෙව්වාය. ගමේ එකාලා එහෙම කොරලා තමන්ගේ වැඩක් පොලක් බලා ගත්තාය. මොකෑ හූණා අගේට හාල කොරල වක්කඩත් බැදලා දාලා ගිය හංදාය.
ඔය වාගේ හිටගෙන පුක හෝදන්ට පුලුවං තරමට වැහැලා වැව් අමුණු ටිං ගාන්ට පිරිච්ච වංගියක, මගෙ නිච්චියෙ හැටියට දැනට අට අවුරුද්දකට විතර කලියෙං හූණා පුරුදු විදියටම විදානේ උන්දගේ මාට්ටරේ වෙලට දැම්මාය. ගමේ එකාලත් හූණාගේ පස්සේ වැටිලාය.
"අනේ පුතේ මයෙ ඩිංගත් ඔය එක්කම අල්ලල දියං".
ඩිංග කිව්වාට ගමේ එකාලට ඩිංගවල් තිබ්බෙ නැතුවාය. එකාට අක්කර බාගෙට එහාය. ඊට අඩුවෙං තිබ්බනං බින්න බැහැපු එකෙකුටය. අක්කර බාගයක් හාන්ට මට නං හෝරා දෙකක් දෙක හමාරක් ගත වෙනවාමය. හාන්ට පස්චාත් උපාධිය හිමි හූණා එක හමාරෙං දෙකෙං අහවර කොලාය. ඒ හංදා හූණා දවසකට වැඩියෙං වැඩ බාර ගත්තාය. එහෙව් අස්සේ ගමේ ගැටව් ටික ගමට ජහුටා කාණ්ඩයක් ඇන්න ඇව්දින්. ගමේ එකාලා ජහුටා කියැවුවේ සල්පිල් බදුන් වෙන්දේසිය,ආදුනික ගීතප්‍රසංගය හා දෙබස් කතන මුද්‍රා ගීතනාට්‍ය සංදර්සන මාලාවකටය. ( ජහුටා ගැන වැඩියෙං විස්තර පස්සට) එදා වෙල් වැඩ වල අවසාන දොහ හංදා ඔක්කෝම ඉවරයක් කොරලාම ගොඩවෙලා ජහුටා බලන්නට යන අදහසිං හූණා බිං කරුවල වැටෙනකං හෑවාය. කෝක වෙතත් රෑ අට විතර වෙනකොට ජහුටා පටං ගත්තා. ජහුටා පොලේ එනෞස්මන් එක ඇහෙනකොට හූණා මාට්ටරේ වෙලෙං ගොඩ දැම්මා විතරය. ජහුටා පොලට විගහිං යන්ට උවමනා වෙච්ච හූණා මාට්ටරේ හෝදන්නේ නැතුවම විදානේ උන්දෑගේ අගුව අස්සේ නතර කොලාය.
"කොයි අඩේ මේක හෝදලා නෑ නෙවැ"
විදානේ උන්දෑ බක බක ගාන්ට පටං ගන්ට හදනකොටම හූණා හාපු සල්ලි ගනං හිලව් බේරා උන්දෑ ගේ අතේ තිබ්බාය. සල්ලි දැකපු විදානේ උන්දෑ ඩින්ගක් හීතල උනාය.
"මං දන්නව, තෝ ඔය ජහුට බලන්ට යන්ට නෙවැ සූජානම. හෙට උදෑනැක්කෙම හෝදන්ට ඕනෑ මේක"
ඒ කියනකොටත් හූණා බයිස්කල් එකේ ගොඩවෙලා දෙවට පීරාගෙන පැද්දේය. එහෙව් කොරලා නා කියගෙන සල්ලි ටිකත් සාක්කුවේ ඔබාගෙන මේකා නතර උනේ ජහුටා පොලේය.
ජහුටා පොලේදී හොදටම ගමේ බඩු වලිං සප්පයම් වෙච්ච හූණා ඇගේ හිරි කැඩෙනකං නැටුවාය. ඒ කොරලා නාට්ටියත් බලලා වෙරි බහින ජාමෙට ගෙදර ගෙහුං බුදි උනාය. කොයි තරං පහුවෙන්ට බුදියෑවත් හූණා උදෑනැක්කෙම අවදි උනාය. ඒ ඇහැරිලා ඇදගෙන උන්නු සරමට රෑ බීපු ගංජා කැටේ ඉතුරු ටිකයි බීඩි දෙක තුනකුයි ගිනි පෙට්ටියයි දාලා ගැට ගහගෙන කොහොඹ කෝටුවක් හපලා දත් මැද මැද විදානේ උන්දෑගේ ගේ පැත්තෙ ගියේ උදෑනැක්කෙම මාට්ටරේ හෝදලා දාල වැඩ අහවර කොරන්ට හිතාගෙනය. හූණාගේ බයිස්කල් එක විදානේ උන්දෑගේ ගෙදර දමා මාට්ටරේ ඇන්න වාන පැත්තට සේන්දු උනේ වාන ගාව කිසි කරදරයක් නැතුව මාට්ටරේ හෝදාගන්ට පුලුවං හංදා. මාට්ටරේ වතුරට දාන්ට කලියෙං ගෙනාපු ගංජා කොටේ ගහලාම බහිනව කියල හිතාන අරකෙං ඩින්ගිත්තක් බීඩියක ඔතලා පත්තු කෙරුවාය. දවල් වරුවේ හෙම්බත් වෙලා රෑ තිස්සේ කසිප්පු බීලා නටලා නිදි මරලා ඉදපු හූණාට හිස් බඩට ඇදපු පලවෙනි දෙවෙනි උගුරෙන්ම හතරවරං පදමට සූර් උනාය. ඩිංග වෙලාවක් කල්පනා ලෝකෙ තනි වෙච්ච හූණා මේක ඉවරයක් කොරලා දාන්ට හිතලා බීඩියක් පත්තු කොරගෙන මාට්ටරේ ඉස්ටෑට් කොරලා එක පාර තිබිච්ච බෑවුම දිගේ වෑ කන්දේ හෙමිං සීරැවට වෙනදා පුරුදු තැනින්ම වතුර පැත්තට දැක්කුවාය. එක අතකිං බේඩියක් බිබී ඉදිය හූණාට හොදටම සූර් වෙලාය. ඊයේ රෑ හදිසියේ හාන්ට බාපු නගුල උස්සන්ට අමතක වෙලාය. "ජරස් බරස් දඩෝං" පාත්වෙලා තිබිච්ච රොටෙරිය මහ පත ගලක වැදිලා කොන්ටරෝල් නැතුව ගෙහුං වට දෙකක් පෙරලී මහ හයියෙං "ජබෝස්" ගා වාං කටට පතබෑවුණි. ඔලුවේ අත තියගත්තු හූණා කොර කියාගන්ට දෙයක් නිච්චි නැතුව ඇනිකට් එක උඩ ඉදගෙන කල්පනා කොරන්ට උනාය. මේක ගංජා කැටේ ඉතිරි ටිකත් බීඩියක එතුවාය. මේකා දැං වැව දිහා බලාන කල්පනා කොර කොර ගංජා උරයි. උගුරෙං උගුර මේකාට සූර් වෙනවා මිස කිසි දෙයක් කල්පනා වෙන්නේ නැත. මේ අව් අස්සේ පරක්කු මොකෑ බලන්ට විදානේ උන්දෑ හූණාගේ බයිස්කල් කටුවත් ඇන්න වාන ගාවට කිට්ටු උනාය. හූණා ඇනිකට් එකේ ඇණකුටු ගහගෙන වතුර දිහාවේ බලාන මොනවදෝ කල්පනා කොරයි. විදානේ උන්දෑ බයිස්කල් එක මාරා ගහකට හේත්තු කොරලා හෙමිහිට මේකා ලගට කිට්ටු කෙරුවාය.
"මොනවදෑ කොල්ලා ඔය හැට් කල්පනාව"
කතා කෙරුවේ කවුද කිංද මංද වත් නොබලපු හූණා
"නෑ මං මේ කල්පනා කොලේ මේක කොහොමද ගොඩගන්නේ කියල"
හූණා වතුර දිහාවේ බලානම උත්තර දෙයි.
"මොකද්ද බොල ගොඩගන්නේ. ඒක නෙවෙයි, කෝ බං මාට්ටරේ"
වැලමිටේ ඉදලා මැනික්කටුවට යනකං පතුරු ගැහිච්ච අත වතුරට දික් කරලා
"සද්ද කොරන්ට එපා, ආං අතන"
යැයි කියාලා මේකා වතුරේ හීනියට බුබුලු දාන තැනක් පෙන්නපි. පතුරැ ගැහිච්ච අත් ගොබයත් ලේ වැක්කෙරෙන හූණාගේ දනිස් පොල්කටුවත් වතුරේ හීනියට පේන රත්පාට චායාවත් දැකපු විදානේ උන්දෑට වෙච්ච සංතෑසිය නිච්චියට ආවේය. කොරන්ට දෙයක් නැති හංදා මෙවුන්දා හූණාවත් පටවාගෙන ඉස්පිත්තාලෙ ගෙහුං දාල බංඩාරෙ අයියගෙ මහ ටැට්ටරේට කතාකොරලා කේබලයක් දාලා මාට්ටරේ ගොඩ ගත්තාය. පස්සේ දොහක විදානේ උන්දෑ මාට්ටරේ උඩිං පල්ලෙං හදලා ඈත ගං පලාතක එකෙකුට සොච්චමකට වික්කාලු. කොහොමිං හරි අහල ගං හතක එකෙක් මාට්ටරයක් දුන්නේ නෑ හූණට එදායින් පස්සේ.
Subscribe to:
Posts (Atom)