Saturday 24 August 2019

මාරැවට කැහිල්ල (හත්පත්තුවේ විත්ති 05)

පොරොන්දුවක් ඉස්ට කොරන්ට කියලයි ගොඩ උනේ.........
කාලය ඊයක වේගෙං ගෙවිලාය. ඒ ගෙවිච්ච කාලය ගැන මතක සටහං එමටය. එකිං එක මතකෙට එන ගානට ලියන්ට ජීවිත කාලෙත් මදිවේද කියලයි හැම නිතරම හිතෙන්නේ. හත්පත්තුවේ එකාලගෙ අතීතෙ, දැං කෝම වෙතත් ඉතාම කටුක එකක්‍ ය. කන්ට හරියට නැතත් දවස ගෙවිච්ච ආකාරෙ හැබෑම සුන්දරය. ඒ සුන්දරත්වය අස්සේ කලවං වෙච්ච කදුලු,හසරැලි,කවට විගඩං එමටය. මේ කියාගෙන ආවෙ එහෙව් ගලාන ගිය ජීවිතේ මටයි මයෙ මස්සිනා වෙච්ච උටියටයි වෙච්ච ඉල ඇදෙන හිනා යන ඇබැද්දියකි.

බැට්ටියගෙ බාල පුතා උටිය. ඒකට උටිය කියැවුවේ මේක මහ කුරු එකෙක් හංදාය. උටියා එක්කලා නොකරාපු අලුකුත්තේරැ වැඩක් නැතිගානයි. පුංචිම සංදියේ පටං උටියයි මායි දෙන්නා වෙල්එලියට පැන්නහම රෑට රෑ වෙනතුරැත් නැත්තං ගෙදරිං කවුරුවත් හොයාන එනතුරැත් ගෙවල් වලට නොවැදුනාය. වැදුනානං වැදුනේ හොද කූරටිය කෝටුවකිං පුක පැත්තේ රට්ටං වල කොටු රෑල් ඇඳගෙනය. එහෙම කැලෑපයින අපි දෙන්නා නොදන්නා කෝං ගහක්, දඹ ගහක්, එරමිණියා ගාලක්, ඉඳි බූටෑවක් නැති ගානය. ගඩා ගෙඩි කාල කාට හරි අලකලංචියක් ඇදල අපි දෙන්නා සතුටු උනේ නොතේරැංකොමටය. ඒ මෝඩකං බලුකං අලුකුත්තේරැකං එකිං එක ඇදබාන්ට ගියොත් පනයන තුරැ ඇදබාන්ට පුලුහං. ඒ අතර අපි දෙන්නට කෙලවිච්චි තැනක් මේ.

උටියා මට වඩා හතර අවුරුද්දකට බාලය. අපේ මලයාගෙ වයසේය. උටියලෑ ගෙවල් තිවුනෙ වෙල් එලියට ඉහත්තාවෙංය. උටියා ඉස්කෝලේ යන්ට ආවේ වෑ කන්ද දිගේය. අපේ ගෙවල් තිවුනෙ වෑ කන්ද පාමුලය. උටියා වෑ කන්ද දිගේ අපේ ගෙවල් ගාවට ඇවිදිං මට බෙරිහං දෙන්නේ මාත් එක්කලාම ඉස්කෝලේ යන්ටය. ඒ යන ගමං දවසේ පැලෑන සැට් වෙයි. මාලු අල්ලන්ට යෑම,නෙලුං බටු කැඩිල්ල,කන්දේ නැගිල්ල,දඩයමේ යෑම වාගේ වයස අටේ දහයේ කොලු ගැටව් දෙන්නෙකුට ඇබින්දක්වත් නොපෑහෙන අවදානං වැඩය. ඩිංග වැරදුනොත් නමත් යන හමත් යන පනත් යන කුප්ප වැඩය. උටියා උදෑනැක්කෙම උන්නේ අප්පා එක්කලා හරක් බදින්ට යනවායිං දවස ගානේ උනු කැවුම් වායේ නිවුස් ඇන්න එයි. ඒ නිවුස් එකට අනුවයි මයේ අතින් පැලෑන සැට් වෙන්නේ. වෙනදා වගේම උටියා වෑකන්දට ඇවදින් බෙරිහන් දෙයි..

"තුසාර අයියා...... වරෝ....."
(අත්තම්මා ආදරේට මට කියැව්ව නම)

දනි පනිගාල බත් කටවල් දෙක තුනක් බස්සා ගත්ත මං වෑ කන්දට ගොඩ උනේ අලුත් නිවුස් අහන්ටයි.

"තුසාර අයිය මරැ වැඩේ බං"
ඇස් දෙක උඩදාල කට ඌරැ පුක වායෙ උල් කරගෙන උටියා කියන දේවල් අහන්ට මමත් එක පයිං.

"ඒ මොකද්ද බං"

"ජයසිංහ බාප්පා අලුත් පට්ටි ගොනෙක් ගෙනත්, බලන්ට ලස්සනයි කිරිසුදු පාට, ඒ මදිවට ඒකයෙ පිටේ යන්ට පුලුහං".

"නෑ..... මරැ වැඩේ බං...."

ජයසිංහ කියැවුවේ බැට්ටියාගේ බාල මලයාය. උන්දෑ මහ නාහෙට නාහන මිනිහා. උන්දෑගෙං බේරී ගොනාගෙ පිටේ යන්ට හිතන්ටත් අමාරු කාරනයකි. පුංචි එකා සංදියෙ "අකාල සන්ද්‍යා" නාට්ටිය රෑප පෙට්ටියෙං බැලුවා මතකය. ඒකේ වාගේ අස්පය පිටේ යන්ට මට තිවුනේ ඉමහත් ආසාවක්‍ ය. ගොනාගෙ පිටේ යංට පුලුහං කීවාට පස්සෙං මට ඒකගෙ පිටේ යංට ඉස්පාසුවක් නැති උනාය. ඉස්කෝලේ ගෙහුං ඉගෙන ගැනිල්ලක් උනේ නැතුවාය. ඇඟිලි ගැන්නේ හීන මැව්වේ ගොනා පිටේ රාජ ලීලාවෙං යාමය. ඉස්කෝල ඇරිලා බැල් එක වදිනකොටම මං පොත් මල්ලත් ඇන්න පාරට පැන්නේ උටියා එන මග බලානය. උටියා ඈතින් ගමේ යන්නැහැ එනව දැක්ක මං,..

"අඩිය තියල යමකො යකෝ කැඳය වගේ ගාටන්නෙ නැතුව."

"තුසාර අයිය බඩකිණි බං".

"ඔහොම ගාටලද යකෝ බත් ගිලින්ට යන්නේ, ඉක්මනට වර".

එහෙම කියල උටියව කරේ නොතියාගත්ත විතරයි. වයිං කොරාපු බෝනික්කා වායේ මං උටියවත් ඇදගෙන අපේ ගෙදරට ගොඩ උනාය.

"අම්මේ......... බත් බෙදන්ඩෝ........"

අම්මාට බත් බෙදන්ට කියැව්ව මං ඉස්කෝල ඇදුං ගලවල ඇදුං වැටට වීසි කොරල කොටකලිසං කොටයකුත් ඉස්කෝල ඇදපු බැනියං කෑල්ලත් ඇදගෙන උටියත් එක්ක බත්කන්ට උනාය. අපේ ගෙදරිං බත්කන්ට උටියා පුදුම පෙරේතයා. ඇටෙං ඇටේට රස කොර කොර තලු මර මර කයි. මගෙ බත් පත විනාඩියට දෙකට අන්ත්‍රස්දාන උනේ අම්මාටද සැක ඇතිවෙන විදියටය.

"කොහෙද දෙන්න අද යන්ට ලෑස්තිය".

අම්මා තර්ජනාත්මක ලීලාවෙං දාපු සත්තමට උටියා බය උනා. ඌ මගේ මූණත් අම්මාගේ මූණත් බලාන ඇතිකොරාපු සතා වාගෙ හිනා වෙනකොට අම්මාට තවත් සැක හිතෙයි. උටියාගෙ කට ඉස්සර වෙන්ට කලියෙං මං ඉස්සර විය.

"නෑ මේ ගයන් අයිය කතාපොතක් දෙනව කිව්ව ඒක ගේන්ට යනව"

"ඉතිං ඕකට ඔච්චර හදිස්සිය, හෙමීට කාල ගියානං ඉවරනෙ."

"ගයන් අයිය පංති යන්ට කලිං යන්ට එපැයි".

"කොහෙ ගියත් කමක් නෑ අප්පොච්ච ගෙදර එන්ට කලිං එන්ට ඕනෑ.."

මාත් එක්කලා කතා කොරල දිනන්ට බැරි බව දන්නා අම්මා ගස්සාගෙන අපේ පිඟං දෙකත් ඇන්න කුස්සි කාමරේට පල්ලං බැස්සාය. උටියාත් මමත් දෙන්නා වෙල පාරෙං උටියලෑ ගෙවල් පේන මානෙට ගෙහුං උටියාව තනියෙං යැව්වේ නැන්දම්මා මාව දැක්කොත් පාන්සි වෙන හංදාය. මං උටියාගෙ වයසට ගැලපෙන එකෙක් නෙවෙයි,කොරන තරමක් අලුකුත්තේරැ වැඩ උගන්නන්නේ උඹ තමයි කියාන උන්දෑ උටියට තහන්චි දමයි.

"උඹ ගෙහුං පොත් මල්ල තියලා වෙන ඇදුමක් ඇදගෙන බෝතල් ඳඹ ගහ ගාවට වරෙන්."

උටියාට මගලකුණු කියැව්ව මං බෝතල් ඳඹ ගහේ කරටියටම නැග ජයසිංහ උන්දෑගේ වත්ත දිහෑවේ බලාන උන්නේ ගොනාව වෙල් එලියට දක්කාගන්ට කෙරේමයක්‍ ය. අඩහෝරාවක් විතර ගතවෙන තැන ජයසිංහ උන්දෑ වස්සා දක්කාන ගෙනහුං ගෙයි පිටිපස්සෑ ලියැද්දේ බැංදාය. ඒ බැඳපු උන්දෑ කරකත් ඇන්න වෑකන්ද පැත්තට ගෑටුවේ මාලු අල්ලන්ටය. මටම කියාපු වෙලාව. ඒ වෙනකොට උටියා පේර ගෙඩියක් උලා කකා ගහ යටට ඇවදිං උන්නාය. හරක් දැක්කිල්ලට උපං හපනා වෙච්ච උටියාව පිටත් කරල යැව්වේ අහු උනත් වැඩේ උටියා මොකක් හරි පචයක් ඇතෑරලා බේරිලා එන හංදාය. මාව දැක්කොත් ගමේ ඕනෑම එකෙකුට සැක ඇතිවෙන්නේ මගේ තිබුන අලුකුත්තේරැ වැඩ හංදාමය.

"ඒ..... යමං, ගෙහුං හෙමිංසැරේම ගොනාව දක්කාගෙන වර......."

"හ්ම්ම්........ අහු උනොත්......."

"අහු උනොත් කියපං, මෙතන අව්ව හංදා කරඳ ගහ යටිං බඳින්ට හැදුවෙ කියාල. ඒ කොරල කරඳ ගහ යටිං බැඳල දන්නෙ නෑ වගේ වර....."

මං කියන හැම දෙයක්ම උටියා අකුරටම කොරන්නේ මගේ පැලෑන් වල තියෙන රස හංදාමය. කන්න දෙකක් වැඩ නොකරාපු හංදා මහවෙල් යායේ ගනසැරේට කැලෑව වැහිලා. තෝර,ලෑටිය,පිල වායේ එකී මෙකී නොකී වන බූටෑව වෙල් යාය වහගෙන උන්නේ සැරින් සැරේට බිම තෙමාපු පොද වැස්සෙං පන ගහලාය. මගේ පැලෑන උනේ ගොනා මහ වෙල් යායට දක්කාගන්ටය. කිව්වා වාගෙම උටියා කිරිසුදු පාට ගොනාව බෙදුං ඇලෙං පන්නාගෙන මහ වෙල් යායට දක්කාගෙන ආවේ මගේ ඉහේ මලක් පිපුන ගානටය.

"හ හා...... කොහොමද ගොනා.."

උටියා එහෙම කියනකොට මට ඉස්පාසුවක් නැති විය. වෙල්‍ යාය මැද කමත් මණ්ඩියට ගොනාව දැක්කුවේ එතන යහමිං ඉඩපාසු ඇති හංදාය. මස්ගොබ ඉලිප්පිච්ච ගොං තඩියෙක් උනාට මේකා මහ කම්මැලි ගොනෙක්‍ ය. ඒකාට අඩිය උස්සලා අඩිය තියන්ට වඳින්ට ඕනෑ. කෝමහරි උටියා කාරියට මුල පුරන්ටත් එක්කලා ගොනාගෙ පිටේ ගොඩ විය. ඒ කියලා ගොනාට වගේ වගක් නැතුවාය. ඒ තරමට හීලෑ ගොං තඩියෙක් ය. උටියා ගොඩ කොරලා මං කඹේ ඇදගෙන දැක්කුවොත් ගොනා අඩිය තියයි. නැත්තං මේක නෙවෙයි අඩිය තියැව්වේ. ඒකෙං මේකෙං හීන හැබෑවෙන මොහොත උදාඋනාය. උටියා කියා දීපු ආකාරෙට ගොනා පිටේ ගොඩ උන මං ඈත වෙල් යායේ ලඳු පතනට රාස්සිගේ අව්ව වැටිච්ච දිහාව බලාන හුස්මක් ඇරියේ රාජ ලීලාවෙනි. ඒ හැඟීම ගැන අදද මට ඇත්තේ අවිනිශ්චිත හැඟීමකි. මට එදා හිතුනේම රජවී අස්පයාගේ පිටේ යනවා කියාය. ගණ සැරේට වැවිච්ච පතනේ ගොනා දක්කන්ට ඉස්පාසුවක් නැති විය. කෝක කොරන්ටත් මේ ගොනා නෙවෙයි අඩිය තිබ්බේ.

"අඩේ තුසාර අයියා...... ගොනා දුවවන්ට නං පුංචි කෙරේමයක් තියෙනව......"

"කොරන ඉටිගෙඩියක් කොරල මේකව දුවවං යකෝ.........."

එහෙව් කියල කට ගන්ට උනේ නෑ ගොනා දුවන්ට තියා ගත්තාය. ඒ දිවිල්ල සරීර සෞඛ්‍යට ඒ තරං හොද එකක් නොඋනාය. ගොනා ලන්ද පලාගෙන දුවයි. උටියා කර ලණුව අල්ලාගෙන පස්සෙං දුවයි මගෙ ඇඟේ ලේ වතුර වෙලා ගොනාගෙ බෙල්ල බදාන බෙරිහන් දෙයි. රාජ ලීලාව බලු ලීලාවට හැරැනාය. කොන්ටරෝල් කොරගන්ට බැරිවෙච්ච උටියා ලණුව පැටලී ලන්ද දිගේ ඇදීගෙන එයි. පස්සෑ ගාත් උඩ දම දමා දුවාපු ගොං තඩියා නියරක් පිටට පය තියලා ගස්සාගෙන දුවපි.....මාව උඩ විසික්කා වී බිම පත බෑවුනාය. යාර පහකට එහායින් උටියා පතබෑඋනේ පැටලිලා තිවුන ලණුව ලෙහිලාය. දෙන්නා දනිපනි ගාලා ලියැද්දෙං ගොඩ වෙලා කමත් මණ්ඩියට ගොඩ උනාට මොකද්දෝ අමුතු කිති කැවිල්ලක් මයෙ කකුල් දෙකේ ඉදං ලෝක පාලණ දාතුව දක්වාම ඇති උනාය. උටියාද බිම්මල් කාලා අජීරණේ හැදුන්නැහේ ඇඹරෙයි.

"මොකද යකෝ උබ කොලේ......."

"මේක කම්මැලිය හංදා මං ඒකගෙ නැට්ට ඇඹරුව......."

"ඒක නෙවෙයි උඹේ කහන්නේ නැද්ද..."

"ඒකනෙ බං මේ මාත් බැලුවෙ, පිට දිගේ ඇවිලෙන්නැහැ කහනව....."

"ඉඳපං ඩිංගක් බලන්ට........."

කියාපු මං දෙන්නා පතබෑවිච්ච තැනට ඩිංගක් කිට්ටු කොලාය. වලාමයි, ගන සැරේට වැවිච්ච කහඹිලෛයා ලංදක් උඩ නේද පතබෑවිල තියෙන්නේ. කතාවෙං කතාවෙං කැහිල්ල උඩු දිව්වාය. උටියගෙ ඇස් දෙකෙං කඳුලු වැක්කෙරෙන හැටි බලාන මං කොට කලිසම උස්සාගෙන කහන්ට උනාය. උටියා පිට කහගන්ට බැරැව හූ තියයි. දෙන්නා පලු නගිනකල් මාරැවට කහගත්තත් මේ වැඩේ හරියන එකක් නෙවෙයි කියල මට ඒත්තු උනාය. අඩියට දෙකට ගෙදර දිව්ව මං පොල්තෙල් බෝතලේම උටියගෙත් මගෙත් ඇගේ හලාගෙන දෙමාරැවට අතුල්ලන්ට විය. අම්මාගෙං පදමට සෝලි අහගත්තු මං උටියාව කිරිඅප්පොච්චගෙ චැලියේ ගෙහුං ඇරලුවාය. දෙන්නාගේ තිබිච්ච පෙර පිනකට ගොනා රෑ වෙන්ට කලියෙං ජයසිංහ උන්දෑගේ ගෙදරට ගෙහුං උන්නාය. ලෝක පාලන දාතුවේ වං බීජෙ පලු දමා සාමාන්‍ය තත්වය වායේ දෙගුන වී තිවුනාය. පොල්තෙල් සාත්තුවට කැහිල්ල නතර උනත් රෑ තිස්සේ මට සහලෝල උන ගැනුනාය. අම්මාට මේ බවක් කටක් ඇරල කියන්ට පුලුහං කොමක් නැති හංදාම ඇඳ රෙද්දට වකුටු වී බුදි උනාය. එදායිං පස්සේ මං නෙවෙයි කහඹිලියා තියෙන අහලකිංවත් ගෑටුවෙ......  

2 comments:

  1. ඔබගේ කතා සහ ඒවා අකුරු කරන ශයිලිය සිත් ඇද ගන්නා සුළුයි. ආසාවෙන් කියවමි. දිගටම ලියන්න.

    ReplyDelete