Saturday, 24 August 2019
බැට්ටියා.....(හත්පත්තුවේ විත්ති.......04)
එක සමාන නං ගං තියෙන එකාල එකම ගමකිං මුලිච්චි වෙන එක ඒහැටි දෙයක් නෙවෙයි. වන්නි කොරෙත් එහෙමයි. ඒත් ඉතිං ගමේ එකාල එක එකාව අඳුරගන්ටත් එක්ක නමට මුලිං අන්වර්ථ නාමයක් පටබැන්ද. වන්නියෙ පුරසිද්දම නං කීපයක් තමා බංඩාරෙයි, තිලකෙයි, වන්නියි. රසව්ංදනේටත් එක්කල කෙටියෙං එක එකා ගැන කියල ඉන්නං
"කඩම්බෑව" කියන ගමේ ඉඳං අපේ ගමට බින්න බැහැපු මිනිහෙක් උන්නා. උන්දෑගේ ලොකු කොල්ලගේ නම තිලකරත්න. කවුරුත් මුන්දෑට කියැවුවේ "කඩම්බෑ තිලකෙ"
අපේ අප්පොච්චගේ වයසෙම තවත් තිලකරත්න කියල උන්දෙක්. අප්පොච්චල පුංචි සංදියෙ මෙවුන්දාට කොලොප්පමට අරියාදුවක් කොලාම. විහිලුවක් තහලුවක් කොලාම එලුව වගේ අඩන්ට තියා ගන්නවලු. ඒකෙං මුන්දෑට කිව්වෙ "එලු තිලකෙ"
කලියෙං කියාපු කතාවක මතක ඇති "ටයිං" උන්දෑ ගැන. උන්දෑගේ ලොකු කොල්ලා "ටයිං තිලකෙ"
ඉස්පිත්තාලෙ ඇම්බුලස් එක එලවාපු තිලකරත්න මාමාට කියැවුවේ "ඇම්බ්ලස් තිලකෙ"
ඔය වාගේ තවත් බොහොමයක් තිබුන, "සැන්ඩෝ තිලකෙ, බඩ තිලකෙ, කලු තිලකෙ"
"ටයිං" උන්දෑගේ බාල පුතා රත්ණබණ්ඩාර. නිච්චියට ආවනෙ නම, "ටයිං බණ්ඩාරෙ"
උපතිංම ඇහැක් කණ බණ්ඩාරනායක උන්දෑ "ඇහැකණ බංඩාරෙ"
ඩෝසරේ තිබිච්ච බංඩාරෙ මාම "ඩෝසර බංඩාරෙ"
සමුර්දියෙ වැඩකොරාපු වන්නිනායක "සමුර්දි වන්නිය"
කෙට්ටු සරීර කූඩුවක් තිබිච්ච ගම්මැද්දෙ වන්නිනායක "හීං වන්නිය"
ඇති ඇති, ලියන්ට උනාම කණ්වැංඳුං ගෑණු වගේ අපිත්. ඒකට හේතුව ආයිබොවන්ඩ මේ එකෙකුට එකෙක්ගෙ චරිත ලක්ෂණයට, උන්ට පටබැඳිච්ච නං වානමට රස වෑහෙන කතාවක් තියෙන හංදා. මේ කියන්ට තෙපර බාගෙන ආවේ අප්පොච්චගේ පුංචි සංදියෙ හූරෙක් වෙච්ච අද වෙනකොට අප්පොච්චගේ මස්සිනා වෙච්ච බංඩාරෙ මාමණ්ඩී ගැන.
පුරාණෙ උන්දලාට ආයිබොවන්ඩ වියට ගෙඩිය කපල අටුවට පුරවගත්තට පස්සෙ වෙන වැඩක් පොලක් තිබ්බෙ නෑ. හේනක්, කොරටුවක් කොරාන එදා වේල පිරිමහන්ට අඩු වැඩිය වත්තෙ පිටියෙම වවාන අල බතල ටික පවා, මේකල උන්නෙ විවේක සුවයෙං ඕං. අන්න ඒ කාරණාව හංදම දේශීය ජන සංක්‍යාතයට දැනෙන බලපෑමක් කොරන්ට පුලුහං උනා. අපේ කිරි අප්පොච්චත් දරුවන් හත් දෙනෙක් සමාජෙට එකතු කොරාපු අතර තවත් දෙන්නෙක් අරං හදාගෙන. මං මේ කියන්ට යන මාමණ්ඩියගේ පව්ලත් අයෙ එසේ මෙසේ එකක් නෙවෙයි ඕං. ගෑණු දරුවො දෙන්නයි පිරිමි දරුවො දොලොස් දෙනයි. ඒ වීර මිණිහගෙ නම "පුංචි ටිකිරා". ගංබාර දෙයි හාමුදුරුවන්නේ පිහිටෙං උන්දෑ තවම යහතිං ඉන්නව. මුන්දෑ කුඹුරු කොටනවාට වැඩියෙං කොටලා තියෙන්නේ ගෙදර කුඹුරදෝ කියල මට හිතෙන වාර අනන්තයි බොල. මේ වායෙ ගෙවල් වල මහ එවුන්ට අමතකයි මොකාටද කන්ට දුන්නේ මොකාටද නැත්තේ කියල. ඇයි යකෝ දාහතරක් කියන්නේ සෙල්ලමක්ද.
කෝමෙං කෝම හරි අපෙ අප්පොච්චට වැඩිමාල් එක අක්කයි. එයින් පස්සේ අපෙ අප්පොච්ච, පස්සෙං අප්පොච්චට බාල සහොදරියො පහයි. ඔය වංගිය වෙනකොට අපේ අප්පොච්චට වැඩිමාල් සේණ මාමත්, පව්ලෙ බාලය වෙච්ච බාප්පාත් පව්ලට එකතු වෙලා. චමින්ද බාප්පා කිරි වරන සංදියෙම එක්ක ආවත් සේණ මාමාව එක්ක ඇවිදිං ඇත්තේ දැනුං තේරැං ඇති වයසේය. සේණ මාමා අඩු කුලේ කොල්ලෙකි. උන්දෑගේ මහ උන්දෑ අකාලයේ මියැදුනාය, උන්දෑ කිරි අප්පොච්චගේ ගෝලයාය, උන්දෑගේ වියෝවෙං පස්සේ සේණ මාමාට වැඩ උගන්නන්ට එක්ක ආවාය කියා අප්පොච්ච මට දවසක් රෑ අස්වැද්දුමට වතුර පාර දාගෙන උන්නු වෙලේ කීවා මතකය. "කෝකෙං කෝක වෙතත් ඒ වෙනස්කං දැනගෙන හිටියට කමක් නෑ එවුන් දෙන්නම දැං අපේ, තේරැනාද? උඹ ලොකු එකා හංදා මෙව්ව දැනගෙන ඉන්ට ඕනෑ හංදා කිවුව, කවදාවත් උඹ මෙව්වා දන්නා බවක් වත්, වෙනස් කමක් වත් අඟවනවා එහෙම නෙවෙයි".
ඉතිං ආයිබොවන්ඩ අපෙ අප්පොච්ච, බංඩාරෙ මාම එක පලෝලෙ උදවිය. කාලෙ ඔය විදියට අපූරැවට ගෙව්ව්ගෙන ගෙහුං ඇටෙං පොත්තෙං පෑදිල එන වයසට ආව. ඇහැට කනට පේන ලමිස්සියො හය දෙනෙක් රකිනව කියන එක අත්තම්මට මහා විසාල වගකීමක් වෙනව කියන එක අහන්ටත් දෙයක් යැ. පිලිවෙලිං මුන්දලාගෙ නං (කිරිඅප්පොච්ච ආදරේට කියාපු) ගීතා, සේණා, ගාමිණී, ඉන්දු, මැණිකේ, ඉන්දරා, උක්කුං, චන්දරා, චමින්ද. මේ අය අතරිං මැණිකේ නැන්දම්මා ඇහැට කණට පේන රෑප සුන්දරියක්. මාලණී ෆොන්සේකාගේ කපාපු පලුව. බංඩාරෙ මාමත් එක්ක වැලි සෙල්ලං අවදියෙ ඇතිවෙච්ච සෙනෙහෙවංත කොම ආලවන්ත කොමකට කාලෙත් එක්ක පෙරලිලා. නාන තොටවල් වල කඩ පිලේ පෝයදාට පංසලේ මේ දෙන්න ඉඟි බිඟි පාන්ට පටං ඇරං. ඒත් අත්තම්මට හොරෙං වචන දෙකක් කතා කොරගන්ට හම්බෙලා නෑ. ඒකට හේතුව අත්තම්මා මහ යකඩ ගෑණී. තුලානෙ මල ගෙයක් උනාම ගමේ ගැටවු තනි රකින්ට යනව රෑට. ඒ ගියාම බූරැ කුට්ටම ඇන්න ඈදි ගත්තාම රෑ එලි වෙන්නෙ මේ වායෙ කත ඔලිං. ගමේ පිරිමින්ට නැන්දම්මලාට අඟර පාපු ගැටයින්ට බිම දාගෙන තඩිබාපු එව්වා ගැන ඒ ගුටිකෑ උන්ම මා අතිං කියපු වරා එමටයි.
ඔය සංදිය වෙනකොට අප්පොච්චයි සේණා මාමයි කිරිඅප්පොච්ච එක්කලා වැඩ හොයාන ගියපු අතර සතියට සැරයක් කිරිඅප්පොච්ච විතරක් ගෙට ගොඩවෙලා යන්ට එයි. අප්පොච්චයි සේණා මාමයි ආවේ මාසෙකට දෙකකට සැරේකුයි. රට වටේ තියෙන වේලි, ඇනිකට්, පන්සල්, පොලිසි, ඉස්පිත්තාල බොහෝමයක මතක අප්පොච්ච ලොකු මාමණ්ඩිය එක්ක සැට් උන වෙලාවට මතක් කොරන හැටි මං වං කණ උරැක් කොරගෙන අහගෙන ඉන්නව. අප්පොච්ච ගිනි වතුර කටේ ගාපු මිනිහෙක් නොවුනට ඉඳ හිට ලොකු මාමණ්ඩි, අප්පොච්චගේ ඉස්කෝලේ යලුවො සැට් උනාම ඩිංගක් සප්පයම් වෙයි. ඒක කොලෙත් ඉස්සරහ කාමරේ ඇතුලේ කාටවත් නොපෙනෙන්ටයි. ඔය වගේ දවසක ලොකු මාමණ්ඩි එක්කලා සැට් වෙච්ච වෙලාවක මං අහගෙන උන්න අප්පොච්ච කියනව
"උඹට මතකද සමරෙ අයියෙ තලාවෙ පොලිසියෙ පොයින්ට් බැම්ම බැන්ද"
"මොකද ආයෙ මට අමතක"
"ඔය බැම්මට අත්තිවාරම දාල මමයි අප්පච්චියි දවසක් ගෙදර ආව මතකද උඹට".
කියලා අප්පොච්ච තවත් විදුරක් හලාගෙන කතාව පටංගත්ත.
කතා බහ කොරන්ට, ලියුං දෙන්ට වෙලාවක් කලාවක් නොලැබිච්ච මේ දෙන්නා අගේ ඇති කෙරේමයක් හොයාගෙන. පොත් පාඩං කොරන්ට මැණිකේ නැන්දම්මා රෑ බෝවෙන තුරු ඉන්න අතර අත්තම්මා රෑපාහිණිය බලයි. රෑට රෑ වෙලා රෑපාහිණිය බලන්නට පුංචි එවුන්ට තහනං අතර අත්තම්මා තනියෙං රෑපාහිණිය බලයි. මේ අස්සේ බණ්ඩාරෙ මාමා බැට්ටිය ඇන්න මහ ගේ ඉස්සරැහිං තිබිච්ච කොට්ටම්බා ගහ යටට එයි. (බැට්ටිය කියැවුවේ ටෝච් එකට) නැන්දම්මා පාඩං කොරන ගෙයි ජැනේලියට දෙතුන් පාරක් බැට්ටි එලිය අල්ලල හීං සැරේම නවසි පොල් ගහ ලගට කිට්ටු කොරනව. ඩිංග වෙලාවකිං මැණිකේ නැන්දම්මා පිටිපස්සෑ දොරෙං එලියට එනවා. සුටුස් ගානකොට ලියුං කරදහි මාරු කොරගන්නව. ආපහු නැන්දම්මා ගේ ඇතුලට මාමණ්ඩිය ආපහු දෙවට පාරට. සැරිං සැරේ අත්තම්මාට නැන්දම්මා එලියෙ ඉඳලා ඇතුලට එනවා අහු උනත් නැන්දම්මා කියැවුවේ දොට්ට පිලට බැසගත් බවකි කියාල අත්තම්මා කීවා මතකයි. කොහොමිං කොහොම හරි අප්පොච්ච කිරිඅප්පොච්ච එක්කලා බැන්ලියෙ ගෙදර ඇවිදිං. බිං කලුවර වැටුනට පහුවෙං ගෙට ගොඩවෙච්චි හංදා අත්තම්මා කරෝල ඩිංගක් තෙලට දාල හාල් ඩිංගක් ලිපේ තියල හොද්දට පරිප්පු පෙගෙන්ට දාල එහෙම බඩ දිය බාන්ට පිලිකන්නට බැහැල. ගෙදරට පිරිම් පරාණ ගොඩවෙච්ච බවක් නොදන්නා බංඩාරෙ මාම ලිවුං කරදහියෙ තිබිච්ච විදියටම වෙලාවට ඇවිදිං. අනේ ඉතිං අද කාලෙ වගේ ආයිබොවන්ඩ ඒ වංගියෙ කතන ආයිත්තං නොතිබ්බ හංදා මේ බවක් කියගන්ට කෙරේමයක් නැතුව මැණිකේ නැන්දම්මා ගේ ඇතුලේ දෙලොව රත් වෙලාලු. පුරුදු විදියට ආයිබොවන්ඩ මෙවුන්දා එදත් බැට්ටිය අල්ලල ජැනේලියට. වලාමයි, අත්තම්මා මේක දැකල. ස්ද්ද නොකර බලාන ඉදල හීං සැරේම ගෙට ගොඩවෙලා අප්පොච්චගෙයි කිරිඅප්පොච්චගෙයි කනේ තියල මූණ බැඳගත්තු එකෙක් කොට්ටම්බා ගහගාව ඉඳලා බැට්ටියක් ඇල්ලුවා කියල. සුටුස් ගාල සරම කැහැපොට ගහගත්තු අප්පොච්ච පිලිකන්න පැත්තෙං එලියට ගෙහුං අනික් පැත්තෙං කොට්ටම්බා ගහ ගාවට ඇවිදිං. අංගං අඩි හොඳට දන්නා අප්පොච්ච මහසොහොන උනත් බෙල්ලන් අල්ලල පොලවෙ ගහනවා කියල හිතාන පැනපු ගමන් මේකගෙ පිට මැදට තඩිබාල. බුදු අම්මෝ කියාගෙන පතබෑවුණු බණ්ඩාරෙ මාමයෙ බෙල්ලට කකුලක් තියල දකුණු අත අඹරල අල්ලගෙන. මේ ඩිංග වෙනකල් කුස්සි යාලත්තට මුවා වෙලා උන්නු අත්තම්මා පැනපු ගමං මේකගෙ බැට්ටිය ඇන්න මේකට තඩිබාන්ට ඇන්න. මේ ගෝරනාඩුව ඇහුන අල්ලපු ගෙවල් ඔලගෙ එවුනුත් වට වෙලා. කෑලි පහේ බැට්ටිය කෑලි වලට ගැලවෙනකල් පතබෑවට පස්සේ තමයි මේකගෙ මුකවාඩම ගලවල තියෙන්නේ.
"ටිකිරගෙ බංඩාරෙ නෙවැයකෝ මේ. තෝ මොනව හොරකමේ ආවද බොල".
"හා හා ඕකට යන්ට ඇරපියව්".
හැම දේ ගැනම දැනුං තේරුං ඇති කිරිඅප්පොච්ච මේකට යන්ට ඇරල. කල බැගෑනිය අහවර කොරල අල්ලපු ගෙවල් ඔලගෙ උන්වත් ගෙවල් වලට පිටත් කොරල. කිරිඅප්පොච්ච ගෙට ගොඩවෙල. ඒ වෙනකොට ගෙදර පුංචි එවුං ඔක්කෝම අවදි වෙලා. කිරිඅප්පොච්ච අත්තම්මාට කියල බත් බෙදවගෙන කන ගමං,
"හා කියපල්ල බලන්ට දැන් තොපෙං කාව හම්බු වෙන්ටද අරක ආවෙ".
කිරිඅප්පොච්ච එහෙම අහනකොට තමයි අප්පොච්චටත් අත්තම්මාටත් අනික් කෙල්ලොන්ටත් මේ අපභ්‍රංසෙ තේරුං ගෙහුං තියෙන්නේ. කෝක වෙතත් කට්ටියම මීයට පිම්බා වගේ බිම බලාන ඉඳලා තියෙන්නේ කිරිඅප්පොච්ච යක්සය වගේ මිනිහා බව හැම එකාම දන්නා හංදාලු. ඒකෙං මේකෙං අත්තම්මා බංඩාරෙ මාමට බැට්ටියෙං තඩිබාපු කතාව ගමේ හැම තැනම පැතිරිලා තිබුනා. කල් යන්ට කල් යන්ට මෙවුන්දාට "බැට්ටි බංඩාරෙ" එහෙමත් නැත්තං "බැට්ටියා" කියලයි අද වෙනකලුත් වානමට කියැවුවේ. කෝක වෙතත් අවුරුද්දකට විතර පස්සේ මැණිකේ නැන්දම්මා බංඩාරෙ මාමත් එක්ක කාටත් හොරෙං වහං වෙල ගෙහුං තිබුණ. මුලදි කිරිඅප්පොච්ච විරුද්ධ උනත් පස්සෙං පහුවෙනකොට අත්තම්මගෙ ඇවිටිලට සමාව දුන්නාලු. අද වෙනකොට දරුවො තුන් දෙනෙක් හදාන ගෙවල් දොරවල් හදාන අගේට ජීවත් වෙනව ආයිබොවන්ඩ......
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment