Sunday 26 August 2018

ඕං ඕකා වැලි කනවා



අතුලා ක්ට්ටියට අල්ලල ගෙහුං හංදම තව ටිකක් මේකගෙ වං හුං ඕං.......

අතුලා කියන්නේ මේ ගං තුලානවල ජීවිතේ හරි අමාරුවෙන් ගැටගහන එකාලට උපහැරණයක්. තවත් මේවායෙ එවුන් එපමනයි. කෝක වෙතත් අතුලා හරි සරල මිනිහා. මුට තිබුනේ රැලේ බයිස්කල් එකක්. ඒකත් ඒකගෙ නෙවෙයි, උගෙ මහ උන්දෑ "පැනියා" මාමයෙ. "අඩේ අතුල අය්යා ගනිංකො හොම්බා කටුවක්".** ගමේ එකාල හොම්බා එක කියැවුවේ මෝටර් බයිස්කල් එකටය. ඉංගිරිස් තබා මලපොතේ අකුරක් බැරි මේකලා කොයි ජාතියේ එකටත් කිවුවේ හොම්බා කියලාය. මට යන්තම් තෙරෙන කාලෙ වෙන්ට එනකොට මෝටර් බයිස්කල් තිබුනේ ගංකොරේ ඩින්ග දෙනෙකුට පමනකි. කිරි අප්පොච්චගේ චැලිය, අප්පොච්චගේ බැන්ලිය, ලොකු ඉස්කෝලේ මහත්තැන්ගෙ ප්‍රෙස් කබ් එක,ග්‍රාම සේවක මාමයෙ සුපර් කබ් එක වාගේ හරි අඩුවෙනි. එව්වා ඔක්කෝම හොන්ඩා කොම්පැණියේ එව්වාය. එකෙක් අලුත්ම එකක් ගේන්ට ගියත් යන්නේ හොම්බා එකක්ම ගේනවා කියාය. අද කාලේ පකිරිස්තන් එව්වා වාගේ නොවෙයි හොන්ඩා සෑම්පලේ එව්වා ඕනෑ ගමනක් බෑ නොකියා අදින්ට දෙයියෝය. හොම්බා එක කොච්චර හදියක් කොලාදෑ කියැව්වොත් කුරුණෑගල මහ ඉස්පිත්තාලෙ හදිසි ප්‍රතිසත්කාර ඒකකේ හොන්ඩා වාට්ටුව කියල එකක් මේ මෑතක් වෙනකල් තිබුනා; බයිස්කල් ඔලිං පතබෑවිලා අතපය කඩාගන්න එවුන් ඇතුලත් කොරන්ඩ.ඒ විතරක් යැ, ගං කොරේ තවත් විගඩං නං බොහෝය. සෙරෙප්පු කුට්ටමට කිවුවේ බටස් කෑලි දෙක කියාය. ලෑන්ඩ් මාස්ටර් එකට කිවුවේ මාට්ටරේ, රේඩියෝ එකට සමහරක් කොළඹ මහත්තැන්ලා වෑර්ලස් කියනකොට අපේ එව්වො කිවුවේ කතා පෙට්ටිය කියාය. කොම්පියුටර් එකට කිවුවේ පීතරේ කියාය)**

"ඔව්වා ගන්ට මට ඇති සල්ලියක් නෑ බං, ඇරත් ඔව්වා පදින්ට ලැයිසං ගන්ට මට විබාග කොරන්ට පුලුව්ං එකක්‍ යැ".

මහ පත ලැගීජියක් සැට් කොරාපු මුගේ බයිස්කල් එකත් හරියට ගොං කරත්තයක් වාගෙයි. ඕනෑ බරක් ඕනෑ දුරක්. උගේ වත්ත පිටියෙ උණත් ඔය විච්චූරණ ගහකොල තිබ්බෙ නෑ. එක ගහක් කොලක් තිබ්බෙ නෑ කන්ට බොන්ට බැරි. තිබ්බනං තිබ්බෙ බුරුත හල්මිල්ල කොහොඹ වාගෙ ගහකොළ. මුගෙ වත්තට මං විට කන්ට මුවාවෙන් ගියෙ මේ ගහකොළ වල ලස්සන බලන්න. මුං තල කුරහං කාලෙට අතුලා ඩ්ංග ඩ්ංග වැව්වාමයි. ඇයි බඩඉරිඟු. මයියොක්කා කොච්චි බුලත් තුන්සිය හැටපස් දවසෙම වරදින්නේ නැත. අතුලා කඩපලෙන් ගෙනාවනං ගෙනාවෙ හුණු දුන්කල පුවක් අඩුවැඩිය ටිකයි මිරිස් තුනපහ ලුණු උවමනා ඩිංග විතරම වෙන්ටෑ මයෙ හිතේ. මුගේ මං අකමැති එකම දේ දඩයම. බෙහෙත් තුවක්කුව ඇන්න වන වැදුණම මේකා ලේනෙක් හරි මරාගෙන ආවේය. ඇයි පිලී දඩයමත් ඊට දෙවෙනි නෑ. බිලී කටු, වීසි දැල, කරක ඇන්න වැවට පැන්නම මාලු මේක හොයාගෙන එන්නෙ. මං හිතන්නෙ මේකගෙ පව්කාරකම. ඉඳ හිට සීල් අරක්කු ඩ්ංගක් තොල ගෑවත් ගානකටය. මොකෑ මුගේ ගෑණි හිට්ලර්ට එහාය. වෙලාවකට මං ඌට එහෙම කිව්වම ඌ අහන්නෙ "මොකාද මලය ඒ හීට්ලෑර්" මං වත් හරියට නොදන්නා හීට්ලෑර් ගැන මං කිවුවේ මෙහෙම. "උඹේ ගෑණි වාගෙම ඒරොප්පෙ හාදයෙක්". අතුලා හම්බු කොරන හැම සතේම පාහේ සමුර්දි බැංකුවේ පොතේ දැම්මේ උගේ කොල්ලාට දවසක දෙන්ට හිතාගෙනය. දැනට දොලොස් අවුරුද්දකට විතර ඉස්සර අතුලාගෙ පැට්යා හතරේ කැලෑසියෙ වෙන්ට ඕනෑ මයෙ හිතේ. අතුලා නූගත් උනාය කියලා ගමේ අනික් එවුන් වාගේ කසිප්පු බීගෙන නැටුවේ නැත. ඌත් උගේ ගෑණිත් හම්බකරන කීය කීයම හරි කොල්ලා වෙනුවෙන් ඉතිරි කලේය. "අපි විදින දුක් මයෙ කොල්ලා විදිනවට මං කැමති නෑ ලොකු මලේ"

අතුලාගේ ගෑණි සිදාදියේ විකිරිස්තන් ගෑණු වායේ සෝබන දැම්මේ නැත. වත්තෙ පිටියේ ගොවිතැන බලා කියා ගත්තේ ඒ අක්කාය. ඒකී පං ගෙතිල්ලට උපං හපණී. මාගල් පැදුරු වට්ටි පෙට්ටි හරි අගේට වියයි. එහෙව් වියමං සිකුරාදා ඔපීසි වත්තේ පොලට ගෙනහුං වික්කාය. අම්මා වට්ටි ගත්තේම සුමණා අක්කා ගෙණි. අම්මා කොනක ඉඳ කූරු ඇද බලා ගන්නේ හොදම එකය. ඒ ගත්තත් වැඩිපුර කීයක් හරි දෙන්නේ "පුංචි එකාට පොතක් පතක් අරං ගෙහුං දීපං කියාය". අතුලා සුමණා අක්කාට කුලී වැඩට යන්ට දුන්නේ නැත. "පුංචි දා ගෙනාපු ගෑණි නෙවැ මලේ, ඒකිගෙං වැඩ ගන්ට හිත දෙන්නේ නෑ " මේකා ගෑණිට ආදරෙයි කියන්ට ලැජ්ජා ය. ලෙන්ගතුකම කීවේ ඔහොමය. සුමණා අක්කා වියාපු හැඹිලියක් මයෙ පරණ ඉස්කෝල පොත් පෙට්ටියේ තාමත් ඇති මයෙ හිතේ

කෝක වෙතත් අප්පොච්ච අමුණෙ කොන්ත්‍රාත්තුව හොදට කොලාය කියාල දිසාපති කන්තෝරුවෙන් උන්දෑට තවත් කොන්තරාත්තුවක් බාරදී තිබුණ වැව් බැම්මේ සලපණාව එකලස් කොරන්ටයි මංකඩ ටික බඳින්ටයි. අතුලා ඉතිං අප්පොච්චගේ හොද හිතවත් ගෝලය හංදම මේකත් මෙතෙන්ට ඈදුණ. අගෝස්තුවේ ඉඩෝරෙ අල්ලල වැවේ වතුර ටික මංකඩ කෙරෝලෙං හේලං වෙච්ච වංගියෙ මංකඩ පඩි බදින්ට පටං ගත්ත. මේ අව් අස්සේ තමයි වැව පාමුල ගෙදර ටයිං උන්දෑ මෙතෙන්ට සැට් උනේ. ටැයිං උන්දෑ වචන දහයක් තෙපලෑවොත් හත අටක් ම කුණු හබ්බය. මුන්දෑට ඇහෙන්ට ටයිමා කීවොත් පෙලපත් හත අටකට සිවං අරියි. මුන්දෑ රේල් ඉස්ටේසමේ ටයිම් කීපර් රස්සාව ටික කලක් කොලාලු. බීමත් කම හංදා මෙවුන්දාව දොට්ට දමා ඇතිබව අත්තම්මා කීවා මතකය. කොල්ලො කුරුට්ටො අපි දෙවට පාරෙ අකුල් කැට ඔලට මුවා වෙලා මහ හයියෙන් "ටයිමා" කීවේ රස වෑහෙන වදන් අහන්ටමය. වයස හැත්තෑවක් විතර වෙන්ට එනව ඇති මුන්දෑට. මුන්දෑ කොරන්නේ වැලි ගොඩේ ඇණ්කුටු ගහගෙන ගල්ගිරියා කන්ද දිහා බලාන ආණ්ඩුවේ ඇද කීමයි. දේසපාලණේ වහකදුරු වෙච්ච අප්පොච්ච කට පියාන උන්නේ මුන්දෑ පාලු කපන හංදා. ඔය වාගේ දවසක මං උගුරැස්ස අහුරක් කොට කලිසං සාක්කුවේ දාගෙන ගොඩවෙච්චි වෑ කන්දට. අප්පොච්ච ගෝල බාලයො එක්ක බිම්බලාන වැඩය. ටයිං උන්දෑ වැලි ගොඩේ ඉදගෙන මොනවාදෝ කියවයි. මමත් ගෙහුං කුබුක් ගහට හේත්තුවක් දාගෙන ඈදිගත්තේ හීතල හුලං පාරට මූණ හරෝගෙනය. හුලං පාර ආවේ එක එක රිද්ම වලටය. ගල්ගිරියා කන්දේ දෙබුක්කා වල ඇඹරි වෙල් යාය දිගේ වැව් පිටියේ තෝර ගොල්ල නළවගෙන ඇවිදිං වෑ දිය නිල්ල පීරාගෙන ඇඟේ වදිනකොට හීතලට හිරිගඩු පිපෙයි. ඔය වාගෙ දාන්ගලෙං හමාපු හුලං රැල්ලක් ටයිං උන්දෑගේ සරං පොට එහා මෙහා කොරල. "කල් යන්ට ඕනෑලු කරවිල වැටකොලු වැලෙං එල්ලෙන්ට". නේන්නං බොලං, ඉඩෝරෙ වේලිච්ච කරවිල කරලක් වගෙ මුන්දෑගේ අහවල් එක එලියට පැනලා. ශ්‍රී නම්බර් මුන්දෑගේ සෙංසර් ඔක්කෝම ගෙවිලදෝ මංදා වැලි ගොඩේ ඇතිල්ලෙනව වගේ වගක් නෑ. දැං කොහොමෙයි මෙවුන්දාට මේක කියන්නේ. ඕක කියන්ට ගිහිං අමු තිත්ත කුණු හබ්බ අහගන්ට වෙනවා සත්තයි. වෑ කන්ද පාරෙන් බවලතෙක් ගෑණු දරුවෙක් එහා මෙහා වෙන්ට කලියෙන් කියන්ටත් ඕනෑ. "අතුලා අයියා, වරෙන්කො උඹට උගුරැස්ස ගෙඩියක් දෙන්ට"
"එපා මලේ, මයෙ කටේ විටක්"
"මෙහාට වරකො කිව්වහම" දකුණු ඇහැ පොට්ට කොරල කිව්වෙ. ඒ පාර ඕං මෙකට තේරුනා.
"මොකෑ බොලං මලේ"
"අර බලකො යකො ටයිං උන්දෑ අහවල් එක එලියෙ දාගෙන, කොහොමැයි මුන්දෑට මේක කියන්නේ"
"ඔහෙ හිටුකො බලන්ට" අතුලා දත් විලිස්සාගෙන බක බක ගාමින් ටයිං උන්දට කිට්ටු විය.
"අඩේ අත්තෙ, ඕං ඕක වැලි කනව".
"මොකාද බොල?".
"ඔය තලගොයි නාම්බා"
"මොන තලගොයි නාම්බද බොල?".
"ඒ අඩේ ටයිං අත්තේ, ඕං ඕකා". කියා අතුලා හීං වැලි අහුරක් අදාල ඉස්තානෙට විසික්කොලා පමනකි.
තෙගෙ අප්@# $%&*-=%@$ අවලං බල්ලා, තෙගෙ අම්@#$@# #&$* බොල උප්පැන්නෙ දුන්නේ, තොගෙ හම ගලවනවා මං අද පැනියාගෙ @#යා......................................තවතවත්...
අතුලා පිම්මේ දෙකේ ඈතට දිව්වේය.

වැඩ පාලු කොරාපු හංදා අප්පොච්ට ඌරු ජුවල් වෙලාය. "පල ගෙදර ගස් බල්ලා"
අප්පොච්ට යකා නැග්ග වේලාවට හීං සැරේ පල්ලං බහින එක තමා හොදම වැඩේ බව දන්නා හංදම
"නෑ මං මේ යන්ට තමා හැදුවෙ". කියාපු මං අඩියට දෙකට නැවතුණේ ගෙදරමය.

No comments:

Post a Comment