Sunday, 26 August 2018
සද්ද කොරන්ට එපා, ආං අතන
සිදාදියේ මහත්තැන්ලාට නෝනාලාට ගමේ විත්ති අල්ලල ගෙහුං වාගේ.
වෙලාවකට මං මේ කොරන්නේ වරදක්ද කියලත් හිතෙන්නේ නැතුවාම නෙවෙයි. ඒ මොකෑ බං මං මේ ඇදබාන සබ්බ සකල මනාවම ඇත්ත නිසාවෙනි. නං ගං සියල්ල ඇත්ත එව්වා. රසව්ංදනේට වාග් ස්වරයෙං ලුණු ඇබුල් දැම්මාට කතාව හෙණගහණ ඇත්තය. ගමේ එකාල දුප්පත් නූගත් මෝඩයෝය. ඒත් ඒ එවුන්ගේ අසරණ කමය. ඒ අසරණ කං මෝඩකම් රෙද්ද කැඩුවා වාගේ මෙහෙම ලියන එක අන්තිම වැරැද්දක් බව මට නිකමට වාගේ ඒත්තු වී ඇත. කවදා හෝ මගෙ ගමේ එකෙක් මෙව්වා කියවලා අදාල පුද්ගලයන් ගේ කණේ තියව්වොත් මට ආයේ උන්ගේ මූණ බලන්ට බැරි වෙනවා සත්තයි. වෙච්චි සිද්දිය ඒ විදියටම පතබෑවේ නැත්නම් ඒකෙ මෙලෝ රහක් නැති බව මගේ අදහසයි. කෝක වෙතත් අදිං පස්සේ ලියන කියන එව්වායේ නං ගං ඩින්ගක් එහාට මෙහාට කොරගෙන ලියන්ට වෙනවාය. කටුස්සා කියන අගේ ඇති මිනිහා මාව මේ මකබාවට සැට් කොලාට, මමත් ඔල්මාද කාරයා වාගෙ ලිව්වාට,ලියන කියන එව්වාටත්, මහ ලොකු සමාජ පරිකල්පන මෙව්වා එකකුත් නැති මට අගේ ඇති අදහසක් කියවන බලන ඔබතුමන්ලාගෙන් මේ ලියමනෙං පස්සේ බලාපොරොත්තු වෙම්.
මේ කියන්ට තෙපර බෑවේ හූණා ගැනය. මේකගෙ ඇත්ත නම සමන් කියමුකො. මේක මගේ වයසේමය. එකේ කැලෑසියෙ ඉදලා තුනේ කැලෑසිය වෙනකල් හිටියා මතකය. මේක හරි කෙට්ටු එකා. හරියට සොමාලියං කාරයෙක් වගේ. ඒ මදිවාට කොටය. ඇතමෙක් මේකාට බුට්ටා කියව්වත් විලිකුණ් ගස්ලබ්බ වගෙ මූණේ ජිල් බෝල වාගේ ඇස් තිබිච්ච හන්දාම හූණා කියා මේකාට රැජිස්ටාර් උනාය. හතරදෙනෙකුගෙ පව්ලෙ මේක කුලුදුල් දරුවා විය. මුගෙ මහ උන්දෑ කොලේ මාලු විකුණන එකය. ඒ හම්බුකොරගෙන එන එකෙං පවුලක් ජීවත් කොරන එකයි පොඩි එවුන් ඉස්කෝල යවන එකයි කොරන්ට මහ අමාරු වැඩක් විය. ඇරත් හූණා උපං ගෙයි මෝඩයාය. තුනේ කැලෑසියෙදි මං පංතියේ පළවෙනි තැන ගත්තායින් පස්සේ වෙනම පංතියකට දැම්මාය. ඒකේ උන්නේ ප්‍රස්න පත්තර උඩ බඩවැල් කපාපු එව්වෝය. මං පලවෙනි එන්ට හේතුව පංතියේ අනික් එවුන් ගොං ලබ්බෝ නිසා මිස වෙන කෙහෙල්මලකට නොවන බව නිච්චියට ආවේ අලුත් පංතියේ එවුන් එක්කලා පෑහෙන්ට දැගලූ විටදීය.
කෝමෙං කෝම හරි හූණා අකුරු කිරිල්ල මග නැවැත්තුවා මතකය. ඒ වෙනකොට මං ඉංගිරිස් සාහිත්‍යය පංතියේය. එව්වා මට නං ජෝන්ට ලතිං වගේය. හූණා ඉස්කෝලේ යාම නවත්තලා ටේලර් සාප්පුවේ වසංතයා ලගට හේත්තු විය. වසංතයා සූස්ති කාරයාය. මෙකා මැරිලා ගියේ ස්නායු පද්දතිය අකර්මණ්‍ය ද මොකද්ද වෙලා මොලේ නහර වැල් වේලිලා සෑහෙන දොහක් ඔත්පොළ ඉදලා අපා දුක් විදලාය. ඒකෙං මේකෙං වසංතයා හූණාටත් සූස්තිය පුරුදු කොරලාය. මැසිමේ වැඩ වසංතයා කොරපු අතර හූණා කොලේ කාසා කැපීම,බොත්තං ඇල්ලීම, ඉස්තිරික් කෙරිල්ල වගේ ගොඩ වැඩය. එව්වාගෙං හම්බුකොරන සොච්චමටත් මේක ගංජා බිව්වේය. ඔය අස්සේ කුඹුරු වැඩ කාලෙට මේකා නිදං විදානේ මාමයෙ මාට්ටරේ වැඩට ගියාය. (නිදං විදානේ මාමයෙ කතාව පස්සේ) වෙල් වැඩ කාලෙට හූණා යන්නේ පොලවට අගලක් පමණ උඩින්. අර මක්කැයි මේකට අත මිට ඒ කාලෙට හෙදට සරුය. ඒ වායෙම රැයක් දවාලක් නැතුව බාරගත්තු වැඩේ මේකා හරියටම කොරලා දුන්නාය. ගමේ එකාලත් හූණා අල්ලන්ට බැරිම වෙච්ව තැන වෙන එකෙකුට දුන්නා මිස කුඹුරු මඩවා ගත්තේ හාගත්තේ හූණාට කියලාමය. අනික මේකාට නැස්ටමෝල් කිරි එකක් හදලා උණුවතුර බෝතලේට දාලා දුන්නාම දවසම ගංජා බිබී ඒකෙං ටිකක් බිබී හෑවා මැඩෙව්වාය. ගමේ එකාලා එහෙම කොරලා තමන්ගේ වැඩක් පොලක් බලා ගත්තාය. මොකෑ හූණා අගේට හාල කොරල වක්කඩත් බැදලා දාලා ගිය හංදාය.
ඔය වාගේ හිටගෙන පුක හෝදන්ට පුලුවං තරමට වැහැලා වැව් අමුණු ටිං ගාන්ට පිරිච්ච වංගියක, මගෙ නිච්චියෙ හැටියට දැනට අට අවුරුද්දකට විතර කලියෙං හූණා පුරුදු විදියටම විදානේ උන්දගේ මාට්ටරේ වෙලට දැම්මාය. ගමේ එකාලත් හූණාගේ පස්සේ වැටිලාය.
"අනේ පුතේ මයෙ ඩිංගත් ඔය එක්කම අල්ලල දියං".
ඩිංග කිව්වාට ගමේ එකාලට ඩිංගවල් තිබ්බෙ නැතුවාය. එකාට අක්කර බාගෙට එහාය. ඊට අඩුවෙං තිබ්බනං බින්න බැහැපු එකෙකුටය. අක්කර බාගයක් හාන්ට මට නං හෝරා දෙකක් දෙක හමාරක් ගත වෙනවාමය. හාන්ට පස්චාත් උපාධිය හිමි හූණා එක හමාරෙං දෙකෙං අහවර කොලාය. ඒ හංදා හූණා දවසකට වැඩියෙං වැඩ බාර ගත්තාය. එහෙව් අස්සේ ගමේ ගැටව් ටික ගමට ජහුටා කාණ්ඩයක් ඇන්න ඇව්දින්. ගමේ එකාලා ජහුටා කියැවුවේ සල්පිල් බදුන් වෙන්දේසිය,ආදුනික ගීතප්‍රසංගය හා දෙබස් කතන මුද්‍රා ගීතනාට්‍ය සංදර්සන මාලාවකටය. ( ජහුටා ගැන වැඩියෙං විස්තර පස්සට) එදා වෙල් වැඩ වල අවසාන දොහ හංදා ඔක්කෝම ඉවරයක් කොරලාම ගොඩවෙලා ජහුටා බලන්නට යන අදහසිං හූණා බිං කරුවල වැටෙනකං හෑවාය. කෝක වෙතත් රෑ අට විතර වෙනකොට ජහුටා පටං ගත්තා. ජහුටා පොලේ එනෞස්මන් එක ඇහෙනකොට හූණා මාට්ටරේ වෙලෙං ගොඩ දැම්මා විතරය. ජහුටා පොලට විගහිං යන්ට උවමනා වෙච්ච හූණා මාට්ටරේ හෝදන්නේ නැතුවම විදානේ උන්දෑගේ අගුව අස්සේ නතර කොලාය.
"කොයි අඩේ මේක හෝදලා නෑ නෙවැ"
විදානේ උන්දෑ බක බක ගාන්ට පටං ගන්ට හදනකොටම හූණා හාපු සල්ලි ගනං හිලව් බේරා උන්දෑ ගේ අතේ තිබ්බාය. සල්ලි දැකපු විදානේ උන්දෑ ඩින්ගක් හීතල උනාය.
"මං දන්නව, තෝ ඔය ජහුට බලන්ට යන්ට නෙවැ සූජානම. හෙට උදෑනැක්කෙම හෝදන්ට ඕනෑ මේක"
ඒ කියනකොටත් හූණා බයිස්කල් එකේ ගොඩවෙලා දෙවට පීරාගෙන පැද්දේය. එහෙව් කොරලා නා කියගෙන සල්ලි ටිකත් සාක්කුවේ ඔබාගෙන මේකා නතර උනේ ජහුටා පොලේය.
ජහුටා පොලේදී හොදටම ගමේ බඩු වලිං සප්පයම් වෙච්ච හූණා ඇගේ හිරි කැඩෙනකං නැටුවාය. ඒ කොරලා නාට්ටියත් බලලා වෙරි බහින ජාමෙට ගෙදර ගෙහුං බුදි උනාය. කොයි තරං පහුවෙන්ට බුදියෑවත් හූණා උදෑනැක්කෙම අවදි උනාය. ඒ ඇහැරිලා ඇදගෙන උන්නු සරමට රෑ බීපු ගංජා කැටේ ඉතුරු ටිකයි බීඩි දෙක තුනකුයි ගිනි පෙට්ටියයි දාලා ගැට ගහගෙන කොහොඹ කෝටුවක් හපලා දත් මැද මැද විදානේ උන්දෑගේ ගේ පැත්තෙ ගියේ උදෑනැක්කෙම මාට්ටරේ හෝදලා දාල වැඩ අහවර කොරන්ට හිතාගෙනය. හූණාගේ බයිස්කල් එක විදානේ උන්දෑගේ ගෙදර දමා මාට්ටරේ ඇන්න වාන පැත්තට සේන්දු උනේ වාන ගාව කිසි කරදරයක් නැතුව මාට්ටරේ හෝදාගන්ට පුලුවං හංදා. මාට්ටරේ වතුරට දාන්ට කලියෙං ගෙනාපු ගංජා කොටේ ගහලාම බහිනව කියල හිතාන අරකෙං ඩින්ගිත්තක් බීඩියක ඔතලා පත්තු කෙරුවාය. දවල් වරුවේ හෙම්බත් වෙලා රෑ තිස්සේ කසිප්පු බීලා නටලා නිදි මරලා ඉදපු හූණාට හිස් බඩට ඇදපු පලවෙනි දෙවෙනි උගුරෙන්ම හතරවරං පදමට සූර් උනාය. ඩිංග වෙලාවක් කල්පනා ලෝකෙ තනි වෙච්ච හූණා මේක ඉවරයක් කොරලා දාන්ට හිතලා බීඩියක් පත්තු කොරගෙන මාට්ටරේ ඉස්ටෑට් කොරලා එක පාර තිබිච්ච බෑවුම දිගේ වෑ කන්දේ හෙමිං සීරැවට වෙනදා පුරුදු තැනින්ම වතුර පැත්තට දැක්කුවාය. එක අතකිං බේඩියක් බිබී ඉදිය හූණාට හොදටම සූර් වෙලාය. ඊයේ රෑ හදිසියේ හාන්ට බාපු නගුල උස්සන්ට අමතක වෙලාය. "ජරස් බරස් දඩෝං" පාත්වෙලා තිබිච්ච රොටෙරිය මහ පත ගලක වැදිලා කොන්ටරෝල් නැතුව ගෙහුං වට දෙකක් පෙරලී මහ හයියෙං "ජබෝස්" ගා වාං කටට පතබෑවුණි. ඔලුවේ අත තියගත්තු හූණා කොර කියාගන්ට දෙයක් නිච්චි නැතුව ඇනිකට් එක උඩ ඉදගෙන කල්පනා කොරන්ට උනාය. මේක ගංජා කැටේ ඉතිරි ටිකත් බීඩියක එතුවාය. මේකා දැං වැව දිහා බලාන කල්පනා කොර කොර ගංජා උරයි. උගුරෙං උගුර මේකාට සූර් වෙනවා මිස කිසි දෙයක් කල්පනා වෙන්නේ නැත. මේ අව් අස්සේ පරක්කු මොකෑ බලන්ට විදානේ උන්දෑ හූණාගේ බයිස්කල් කටුවත් ඇන්න වාන ගාවට කිට්ටු උනාය. හූණා ඇනිකට් එකේ ඇණකුටු ගහගෙන වතුර දිහාවේ බලාන මොනවදෝ කල්පනා කොරයි. විදානේ උන්දෑ බයිස්කල් එක මාරා ගහකට හේත්තු කොරලා හෙමිහිට මේකා ලගට කිට්ටු කෙරුවාය.
"මොනවදෑ කොල්ලා ඔය හැට් කල්පනාව"
කතා කෙරුවේ කවුද කිංද මංද වත් නොබලපු හූණා
"නෑ මං මේ කල්පනා කොලේ මේක කොහොමද ගොඩගන්නේ කියල"
හූණා වතුර දිහාවේ බලානම උත්තර දෙයි.
"මොකද්ද බොල ගොඩගන්නේ. ඒක නෙවෙයි, කෝ බං මාට්ටරේ"
වැලමිටේ ඉදලා මැනික්කටුවට යනකං පතුරු ගැහිච්ච අත වතුරට දික් කරලා
"සද්ද කොරන්ට එපා, ආං අතන"
යැයි කියාලා මේකා වතුරේ හීනියට බුබුලු දාන තැනක් පෙන්නපි. පතුරැ ගැහිච්ච අත් ගොබයත් ලේ වැක්කෙරෙන හූණාගේ දනිස් පොල්කටුවත් වතුරේ හීනියට පේන රත්පාට චායාවත් දැකපු විදානේ උන්දෑට වෙච්ච සංතෑසිය නිච්චියට ආවේය. කොරන්ට දෙයක් නැති හංදා මෙවුන්දා හූණාවත් පටවාගෙන ඉස්පිත්තාලෙ ගෙහුං දාල බංඩාරෙ අයියගෙ මහ ටැට්ටරේට කතාකොරලා කේබලයක් දාලා මාට්ටරේ ගොඩ ගත්තාය. පස්සේ දොහක විදානේ උන්දෑ මාට්ටරේ උඩිං පල්ලෙං හදලා ඈත ගං පලාතක එකෙකුට සොච්චමකට වික්කාලු. කොහොමිං හරි අහල ගං හතක එකෙක් මාට්ටරයක් දුන්නේ නෑ හූණට එදායින් පස්සේ.
Subscribe to:
Post Comments (Atom)
ලියාගන ලියාගන ලියාගන යන්ඩ
ReplyDeleteලියාගෙන ලියාගෙන ලියාගෙන යන්ට පාර පෙන්නුවට පිං
Deleteහත්පත්තුවේ විත්ති හරිම රහයි හත්තිලව්වේ!
ReplyDeleteස්තූතියි හත්තිලව්වෙ
Delete:D නියමයි
ReplyDeleteස්තූතියි
DeleteApuru viththi...
ReplyDeleteතව එහෙම්මම
DeletePattayi koluwo.. liyhan thawa.. bohoma stuty.
ReplyDeleteවෙලාව හම්බෙන හැම වෙලාවකම ලියන්ට තමයි බලාපොරොත්තුව
Deleteමල් හතයි බං.
ReplyDeleteස්තුතියි
Deletespuprudu hageemak danuna
ReplyDeleteගොඩවැදුනට ස්තූතියි
Delete